නූතන බෝග වගාවේ මූලධර්ම

නූතන බෝග වගා මූලධර්ම වෙත අවධානය යොමු කිරීමේදී මෙතෙක් දුරට කරගෙන ආ බෝග වගා ක්‍රම (ගතානුගතික ක්‍රමය) හා නූතන කෘෂිකර්මය පිළිබඳ වෙනස අවබෝධ කරගැනීම අත්‍යාවශ්‍යය.නූතන කෘෂිකර්මය කාර්මීකරණයක් වූ වගා ක්‍රමයක් වන අතර එය යාන්ත්‍රීකරණය, ඒක බෝග වගාව,පොහොර සහ පළිබෝධ නාශක ලෙස කෘතිම රසායන ද්‍රව්‍ය භාවිතය යන ප්‍රධාන කරුණු වලින් සමන්විතය. එහිදී ප්‍රධානතම ඉලක්කය වී ඇත්තේ උපරිම නිෂ්පාදකත්වයක් හා උපරිම ලාභයක් ලගා කර ගැනීමයි.

නූතන කෘෂිකර්මාන්තයේදී පැවතීගෙන ආ නවීකරණයන් තුළින් බෝග වගාවේදී පාරිසරික මූලධර්ම සහ ඒවායේ සහසම්බන්ධතාවයන් තදබල ලෙස නොසලකා හැරීමට පාත්‍ර වී ඇත.බොහෝ විද්‍යාඥයන්ගේ මතය වන්නේ නූතන කෘෂිකර්මාන්තයේ ක්‍රියාකාරකම් පාරිසරික ගැටුම්කාරී තත්ත්වයක් ඇති කරන බවයි.බොහෝ වගා කරුවන්ගේ අවධානය එහෙයින්ම දීර්ඝ කාලීනව තිරසාර වන්නාවූ ආහාර නිපැයුම් ක්‍රම වෙත යොමු වෙමින් පවතී.දැනට ලබා ඇති අත්දැකීම් සමුදායන් අනුව තාක්‍ෂණය හා m%dග්ධනය, පෝෂක, ශක්ති, ජල සහ අපද්‍රව්‍ය චක්‍රයන් ස්වභාව ධර්මයේ ඇති සංවෘත භාවයන්ගෙන් මිදී විවෘත භාවයන්ට පත්ව ඇත. බොහෝ දුරට ගොවිපළ වල විශාල ප්‍රමාණ වලින් බෝග අපද්‍රව්‍යයන් නිපයෙන නමුත් ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමේදී ගැටළු වැඩිවී ඇත.සත්ව අපද්‍රව්‍ය මනාව ප්‍රතිචක්‍රීකරණයට භාජනය කළ නොහැකිව ඇත.ඊට හේතුව වන්නේ බොහෝ අවස්ථාවල ඒවා ආර්ථික ලාභදායී ලෙස නැවත පසට එකතු කිරීමට නොහැකි වීමයි.මක් නිසාද යත් බොහොමයක් නිෂ්පාදන පද්ධති භූගෝලීයව දුරස්ථව පවතින නිසාවෙනි.බොහෝ පෙදෙස්වල කෘෂි අපද්‍රව්‍යයන් වටිනා සම්පත් වෙනවා වෙනුවට බරක් වී ඇත. එමෙන්ම නාගරික මධ්‍යස්ථානයන්ගේ අපද්‍රව්‍ය වල පෝෂක ප්‍රතිසංස්කරණයන්ද අපහසු තත්වයට පත්ව ඇත.

කෘෂි වගා ක්‍රම තුළ අස්ථායීතාව සහ රෝග කාරකයන්ට පාත්‍ර වීමේ ප්‍රවණතාවය ඒක බෝග වගාවන් වල බහුල දැකිය හැක. මෙවැනි තත්ත්ව විශේෂිත පළිබෝධකයන්ට සාන්ද්‍රගත වීමේ හා ආගමනය වීමේ ප්‍රවණතාවයක් ඇති කරයි.මෙවැනි සරලානුකරණය වීම් ස්වාභාවික සතුරන්ගේ පාරිසරික ගහනය අඩු වී යෑමටද හේතු වෙයි.මෙහි ප්‍රතිඵලයක් ලෙස සිදු වනුයේ විශාල වශයෙන් පිටතින් පළිබෝධකයින් පැමිණීමෙන්ද,අවශ්‍ය වන්නාවූ සතුරු සත්ත්ව ගහනයන් අඩු වීමෙන්ද,ඒ සමගම හිතකර දේශගුණ තත්ත්ව හා සුදුසු වර්ධන කාල මුසු වීමෙන් ද මහා පරිමාණ ලෙස පළිබෝධක ගහනයේ ව්‍යාප්තියක් ඇති වීමයි.

බෝගයක් බොහෝ විට ස්වාභාවිකව නොගැලපෙන මට්ටම් වලින් හා නොගැලපෙන පළිබෝධ විභව ඇති පෙදෙස්වලට ව්‍යාප්ත කිරීමෙන්ද, ජල හිඟ හෝ නිසරු පෙදෙස් වල බෝග වගා කිරීමෙ න්ද රසායනික පාලන ක්‍රමවේදයන් බහුලව යොදා ගැනීමට සිදුව ඇත. මෙලෙස සිදු කරනුයේ, සිදුවන සහ ඇතිවන සියළු ආකාරයේ අඩු පාඩු මිනිස් ක්‍රියාකාරකම් වලින් හා වැඩි යෙදවුම් මගින් දිගු කාලීනව මග හරවා ගැනීමට හැකි වේ යැයි අනුමාන කරන නිසාය.

වෙළඳපොල වෙනස් වීම සහ පාරිසරික බලපෑම් නිසා නිරන්තරයෙන් නවීන බෝග වර්ග (බෝග ආදේශනයක්) හඳුන්වා දීමක් සිදුවේ.බොහෝ විට වැඩි දියුණු කළ කෘමි හෝ පළිබෝධ ප්‍රතිරෝධී වර්ගයක් එකක් වසර කිහිපයක් තුල (සාමාන්‍යයෙන් 5-9) වෙනත් වර්ගයකින් ආදේශනය කරන්නට සිදු වෙයි.මෙවැනි තත්ත්වයන්ට හේතු කාරක වනුයේ අස්වැන්න ක්‍රමයෙන් අඩුවීම, නිෂ්පාදනයේ අවදානම් තත්ත්ව ඇතිවීම හෝ වඩාත් හොඳ ප්‍රභේද හඳුන්වා දෙනු ලැබීමයි. ප්‍රභේදයක පැවැත්ම නිර්ණය වන්නේ එය වගා කරුවන් භාවිතා කිරීමට පටන් ගැනීමත්, එය වගා කළ කොටසේ හොඳින් ස්ථාන ගත වීමත් මතය. එනිසා නූතන කෘෂිකර්ම පද්ධති වල ස්ථායිතාවය නිබඳව නිකුත් කෙරෙන්නාවූ ප්‍රභේද මත වඩාත් බලපානු ලබයි.

ඒක බෝග වගාවන් වලට වැඩිමනත් පළිබෝධ නාශක හා පොහොර වර්ග අවශ්‍යය.ඒවා එලෙස සැපයුවත් යෙදවුම් වල කාර්යක්‍ෂමතාවය අඩුවීම් තුලින් බොහෝ ප්‍රධාන බෝග වල අස්වැන්න සම මට්ටමකට පත් වෙයි. සමහර ස්ථානවල අස්වැන්න අඩු වීම්ද පෙන්නුම් කරයි. මෙවන් සිදුවීම් වලට විවිධ හේතු ඉදිරිපත්ව ඇත. සමහරු අස්වැන්න එක මට්ටමක පවතිනුයේ ප්‍රභේදයේ විභව මට්ටමට ළඟා වී ඇති නිසා බව සිතයි. එහෙයින් ඒවායේ ජානමය විභවයන් වැඩි කළ යුතු බව අඟවයි. මෙයට පරිබාහිරව කෘෂි පරිසරවේදීන් සිතන්නේ මෙවැන්නක් සිදු වනුයේ භාවිතා කළ නිෂ්පාදන මාධ්‍යය වන පස නිවැරදි නොවන ක්‍රම මගින් පරිහරණය කළ නිසා බවය.


නූතන බෝග වගා ක්‍රම වලට උදාහරණ

  • ජල පෝෂක වගාව

    මෙය පෝෂක ද්‍රාවන උපයෝගී කරගෙන කරන්නා වූ වගා ක්‍රමයකි. මෙහිදී පස භාවිතා නොකරයි. සමහර අවස්ථාවල ද්‍රාවණය පමණක්ද, අනෙක් අවස්ථාවල අක්‍රීය මාධ්‍යයක් ලෙස පෝෂක ද්‍රාවණයට අමතරව පර්ලයිට්, බොරළු, ඛනිජ ලොම් ආදිය මූල පද්ධතියේ සංධාරණයට භාවිතා කරනු ලබයි.


  • වායු පෝෂක වගාව

    පස, කැටිති මාධ්‍යයක් හෝ ස්ථායි පෝෂක ද්‍රාවණයක් නොමැතිව පෝෂක මීදුමක් තුල මූල පද්ධතිය වැඩෙන්නට සලස්වා කරන බෝග වගාවයි.

  • කාබනික වගාව

    මෙම ක්‍රමයේදී විශේෂ අවධානයක් බෝග මාරුව, කොළ පොහොර සහ කොම්පෝස්ට් භාවිතය, ජීවී පළිබෝධ පාලනය පවත්වා ගනු ලබන අතර මොනයම් හෝ ආකාරයකට කෘතිම පොහොර, කෘත්‍රිම පළිබෝධ නාශක, පැළෑටි හෝමෝන, හා ජාන තාක්‍ෂණයෙන් වැඩි දියුණු කළ ප්‍රභේද යොදා නොගනී.මෙහිදී ජෛව විවිධත්වය හා ස්වාභාවික පෝෂණ චක්‍ර හොඳින් පවත්වාගෙන යාමට යත්න දරනු ලබයි.

 

හරිතාගාර ක්‍රම

මෙහිදී වගාව සිදු කරනුයේ සංවෘත ගෘහයක් තුලය.පතිතවන හිරු එලිය මගින් පැළැටි ගෘහය වැඩි උෂ්ණත්වයක තබා ගනිමින් (විශේෂයෙන් ශීත දේශගුණයක් පවතින රටවල) ආලෝකය, වාතාශ්‍රය, වාතයේ තෙතමනය ආදිය රිසි පරිදි කළමනාකරණය කර ගැනීමේ හැකියාව මෙහිදී ඇත.

ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රම

මෙය බොහෝ ආකාර සම්මිශ්‍රණය කරගෙන පවත්වාගෙන යන ක්‍රමයකි.මෙහිදී දීර්ඝ කාලීන පළිබෝධ පාලනයන් ජීව විද්‍යාත්මක ක්‍රම, ගහන කළමනාකරණය, වගා ක්‍රම වෙනස් කිරීම්, ප්‍රතිරෝධී ප්‍රභේද භාවිතය ආදිය එකවර මුසු කර ගනී. පළිබෝධ නාශක යොදා ගනුයේ අත්‍යාවශ්‍ය ප්‍රමාණ වලින්,ඉලක්ක කොටගත් පළිබෝධකයන්ට පමණි.මෙහිදී දී ඇති මගපෙන්වීම් නිතැතින්ම අනුගමනය කරනු ලබයිග

වඩාත්ම මිනිස් හා අනෙක් සත්ව සනීපාරක්‍ෂාවට සහ සත්ව විශේෂයන්ගේ පැවැත්මට හානි නොවන පරිසරය හානිකාරී නොවන පළිබෝධ නාශක තෝරා ගැනීම ඉතාමත් වැදගත්ය.


ඒකාබද්ධ පැළෑටි පෝෂක ක්‍රම

මෙය පසක සමස්ථ සාරවත් භාවය ලඟා කර ගැනීම උදෙසා කාබනික හා අකාබනික පොහොර සහ යෙදවුම් උචිත ලෙස සම්මිශ්‍රණය කර ගැනීමේ ක්‍රමයකි. මෙහිදී සරු බව වැඩි වීම, එම තත්වය දිගටම පවත්වාගෙන යාම සහ පරිසරයට දැරිය හැකි වන ලෙස පෝෂක සැපයීමෙන් බෝග නිෂ්පාදකතාවය වැඩි කරගනු ලබයි.

 

නූතන කෘෂි තාක්‍ෂණ ක්‍රම වල මූලධර්ම

  • ජලයේ උපයෝගීතාවය ප්‍රශස්ථ කර ගැනීම. ජල ඒකකයකට උපරිම කෘෂි නිපැයුමක් ලබා ගැනීමට උත්සහ ගත යුතුය.

  • පසෙහි පෝෂක හා පෝෂක යෙදවුම් වල ප්‍රශස්ථ උපයෝගීතාවය ලබමින් පෝෂක ඒකකයට නිපැයෙන වියලි බර වැඩි කර ගැනීම.
    පසෙහි සරු බව හැකිතාක් දුරට වැඩි කර ගැනීම.

  • බෝග වගාවේදී මතුවන ස්වභාවික බාධා මගහරවා ගැනීමට (උදා: නිසරු පස)

  • අධි තාක්‍ෂණික ක්‍රම වන ජල වගාව,වායු වගාව,ආරක්‍ෂිත බෝග වගාව ආදිය භාවිතා කිරීම (අයහපත් කාලගුණ තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා).

  • පැළෑටි වර්ධනයට ප්‍රශස්ථ පරිසරයක් ඇතිකර ගැනීම. මේ සඳහා තුලිත වූ යෙදවුම්,අපතේ යාම් අඩු කර ගැනීම්, වල් පැල ගහනය අඩු කර ගැනීම් ආදියට අවධානය යොමු වෙයි.

ප්‍රකාශන නිර්මාණය:- මහාචාර්ය ඒ.ජයකොඩි