පැළෑටි වල අවශ්‍යතා


ඕනෑම ජීවියෙකුට වැඩීම සහ පරම්පරාව පවත්වාගෙන යාම සඳහා මූලික අවශ්‍යතාවයන් සමූහයක් ඇත.පැළෑටි වලටද එසේමය.පැළෑටිද ජීවීන් විශේෂයක් වන නිසා පැළෑටි වල මූලික අවශ්‍යතාවයන් ද්‍රව්‍ය වශයෙන් හා තත්ත්ව වශයෙන් ගත් කල සය වැදෑරුම් ය.

  • වාතය
  • ජලය
  • ආලෝකය
  • පෝෂක
  • උණුසුම
  • අවකාශය සහ පසට සවිවීම (ධරණය වීම)

අවශ්‍ය වන ද්‍රව්‍යයන්ගේ ප‍්‍රමාණත්, තත්ත්වයන්ගේ තීව‍්‍රතාවයනුත් පැළෑටි ගණය, වර්ගය, ප‍්‍රභේදය යනාදී කාරණා වලින් එකිනෙකට වෙනස් වෙයි. කෙසේ හෝ වේවා ඉතා ප‍්‍රශස්ථ පැළෑටි වර්ධනයකට ඉහත සඳහන් කාරණා තුලිතව සැපයුනහොත් පැළෑටියක සැලකිය හැකි වර්ධනයකුත්, අස්වැන්න නිපැයුමකුත්, ප‍්‍රජනනය සිදුවීමකුත් ඇතිවන බව නම් පැහැදිලි කරගෙන ඇත.

එම නිසා භෝග සහ පැළෑටි වගා කරන්නකු ඉහත සඳහන් කාරණා හය පිලිබඳව මනා අවබෝධයකින් යුතුව සිටී නම් ප‍්‍රශස්ථ වගාවක් කල හැකි බවට ඇති හැකියාව වර්ධනය වනු ඇත. ඊට හේතුව වන්නේ එම මූලික අවශ්‍යතාවයන් හය යම් යම් ප‍්‍රමාණ වලට කලමණාකරණය කර ගත හැකි වීම සහ හසුරුවා ගැනීම වගා කරුවෙකුට වැඩි අපහසුවක් නැතිව කර ගත හැකි වීමයි.

වායු ගෝලීය සහ පාංශු වාතය

වාතය පැළෑටියක යහ වර්ධනයට සුවිශේෂ අවශ්‍යතාවයකි. මෙම වාතය වායු ගෝලයේ සහ පාංශු විවරයන් තුල විසිරී ඇත. මෙසේ විසිරී ඇති වාතයේ සංඝටක සහ ඒවායේ ඇති අනුපාත යම් අවස්ථාවලදී පැළෑටියක වර්ධනයට හානිදායක වන්නටද පුළුවන.

සාමාන්‍යයෙන් වාතයේ ඇති කාබන්ඩයොක්සයිඞ් (Co₂)සහ ඔක්සිජන් (O₂)පිලිවෙලින් ආහාර සංස්ලේෂණයට (ප‍්‍රභාසංස්ලේෂණයට) සහ ශ්වසනයට ඉතා වැදගත් බව සැලකිය යුතුය. පාංශු වාතයට මනා ලෙස පැළෑටි වල මුල් වලට අවශ්‍ය ඔක්සිජන් සැපයීමට හැකියාවක් තිබිය යුතුය.පැළෑටි මුල් වල මනා ශ්වසන ක‍්‍රියාවලිය පැළෑටියකට ජලය හා පෝෂක ලබා ගැනීමේදී බලවත් අනුග‍්‍රහයක් දක්වයි.

මේවාට පරිබාහිරව වායු ගෝලයේත්,පාංශු වාතයේත් වැඩි ප‍්‍රමාණ වලින් විෂ සහිත වායුන් වන සල්පර් ඩයොක්සයිඞ් (SO₂), ඇමෝනියා (NH₃), මීතේන්(CH₄), හා හයිඩ‍්‍රජන් සල්පයිඞ් (H₂S) ආදී පැළෑටියකට දැරිය නොහැකි ප‍්‍රමාණ වලින් නොතිබිය යුතුය. මෙවැනි තත්ත්ව නිවැරදි නොවූ මිනිස් ක‍්‍රියාකාරකම් නිසා ඇතිවන්නට පුළුවන. මේවා කර්මාන්තශාලා මගින්ද, පස තුල ඇති නුසුදුසු තත්ත්වයන් මගින්ද නිපදවී වාතයට මිශ‍්‍ර වන්නට පුළුවන. පස තුලින් මෙවැනි විෂ වායු ඇති වීම මනා ශෂ්‍ය විද්‍යාත්මක හා පාංශු කලමනාකරණ ක‍්‍රම භාවිතයෙන් පාලනය කර ගන්නට පුළුවන.

 

පාංශු වාතයේ ඔක්සිජන් හිඟයක් ඇත්නම් එවන් පසක් නිර්වායු තත්ත්වයට පත්ව ඇති සේ සැලකෙන අතර, එවන් නිර්වායු තත්ත්ව කිසිම ගොඩ භෝගයකට උචිත නොවන බවද දැනගත යුතුය. ගොයම් සහ පන් වැනි පැළෑටි වලට එය සුදුසු වුවත් එවන් පැළෑටි වලට තම පත‍්‍ර පටක හරහා මුල් වලට ඔක්සිජන් සැපයීමේ හැකියාවක් ඇත. එනිසා පසක් සවායු තත්ත්ව යටතේ පවත්වා ගැනීම හොඳ වගා කරුවකුගේ අත්‍යාවශ්‍ය කටයුත්තකි. වායු ගෝලීය වාතයේ සහ පාංශු වාතයේ ප‍්‍රධාන වායු වල පැතිරීම පහත අයුරුය.

 


ඔක්සිජන් % කාබන්ඩයොක්සයිඩ් % නයිට්‍රජන්%
වායු ගෝලීය වාතය 20.90 % 0.03 % 79.00 %
පාංශු වාතය < 20.60 % > 0.02 % 79.00 % පමණ

 

පාංශු වාතයේ කාබන්ඩයොක්සයිඞ් වැඩි වීමටත් ඔක්සිජන් අඩු වීමටත් හේතුව පාංශු ජීවීන් හා පැළෑටි මුල් මගින් ශ්වසන ක‍්‍රියාවලියයන් කරගෙන යාමයි. කෙසේ හෝ වේවා පැළෑටියක ප‍්‍රශස්ථ මට්ටමේ වැඞීමකට හා පැවැත්මට පසෙහි වාතයේ කාබන් ඩයොක්සයිඞ් පරිමා ප‍්‍රතිශතය වඩා අඩුවටත්, ඔක්සිජන් පරිමා ප‍්‍රතිශතය වඩා වැඩියටත් තිබිය යුතුය.

ජලය

ජලය ජීවය යයි හෝ ජීවය ජලය යයි ලෙස සමානපාතිකව හැඳින්වූවාට ඇති වරදක් නැත. ජීවයට ජලය අත්‍යාවශ්‍ය හෙයින්ම පැළෑටියකටද එසේමය. පැළෑටියක් තුල ඇතිවන පරිවෘත්තිය ක‍්‍රියා වලියන්ට ජලය බහු විධ ලෙස සහභාගිත්වය පලකරයි.සෑම සියළු ජීව රසායන පරිවර්තනයන් ජලය ඉදිරියේ සිදුවන බව හොඳින් හඳුනාගෙන ඇත. මූලික වශයෙන් ජලය ශාක පටක වලට දැඩි බව ලබා දෙයි. එමගින් ශාක කොටස් වල හැඩය මනාව තබා ගැනීීමට උදව් උපකාරි වේ.

ජලය නැති වූ විට පැළෑටියක් වැහැරෙන බව අමුතුවෙන් කිව යුතු ද? මීට අමතරව ජලය ශාක සංඝටක පරිවහනයට අත්‍යාවශ්‍ය වූ මාධ්‍යයකි. සියලූ අවශ්‍ය පෝෂක සංඝටකයන් පටක වලට ගෙන යන්නේත් නිපැයූ ආහාර අවශ්‍ය පටක වෙත ගෙනයනු ලබන්නේත් ජලීයවය. පැළෑටි සෛලයක ඇති අයන, සංයෝග හා කලිල කොටස් විසිරව පිහිටා ඇත්තේද ජලයේය. පැළෑටියක් අධි ප‍්‍රමාණ ජලය මුල් මගින් ලබාගන්නා සේම සැලකිය යුතු ප‍්‍රමාණයක් උත්ස්වේදනය මගින් වායු ගෝලයට පිටකරනු ලබන අතර, එමගින් එම පැලයට උචිත උණුසුම පාලනය කර ගනී. එසේ පාලනය නොවී තදබල ලෙස වැඩි හෝ අඩු උෂ්ණත්ව වලට පටක පාත‍්‍ර වූ විට පරිවෘත්තිය ක‍්‍රියාවලියන්ගේ බරපතල බිඳීමක්ද ඇති වෙයි. ජෛව රසායන ක‍්‍රියා ඇන හිටී.

 

වර්ෂාපතනය / වර්ෂණය

 

වර්ෂාපතනය /වර්ෂණය ගැන මනා අවබෝධයක් ලබා ගැනීමෙන් කිසියම් පෙදෙසක් හෝ ස්ථානයක් තෙත ද, වියලි ද යන්නෙන් දැනගත හැකිය. කෙසේ හෝ එකිනෙකට වෙනස් වර්ෂාපතන ව්‍යාප්තියක් හා ප‍්‍රමාණයන් වෙනස් ආකාරයේ වර්ධන තත්ත්වයන් ඒ ඒ පැළෑටියට සුදුසු වන හෝ නොවන ආකාරයෙන් ඇති කරනු ලබයි.

එම නිසා වර්ෂාපතනය අපට දී ඇති ප‍්‍රදේශයක හෝ ස්ථානයක භෝග වගාව සඳහා මග සලකුණු සපයයි. මෙය අයෙකුට මනාව අවබෝධ වනු ඇත.රටක වියලි කලාපයක හා තෙත් කලාපයක ඇති ගස්කොලන් දෙස නෙත යොමුකල හොත්, මින් ඔබ්බට වර්ෂාපතන රටාව ගොවිතැන් කිරීමේ කාල නිර්ණය කර ගැනීමට හා පැළෑටි ගහණය නිර්ණයට මනා පිටුවහලක් සපයයි.


බෝග වගා සැලැස්ම සඳහා මෙම කරුණු පාදක කර ගත යුතුමයි.එහෙයින්ම වගා කරුවා ජලය ගැන සිතන විට,වර්ෂාව හා වර්ෂණයේ විශේෂත්වයන් අවබෝධ කර ගත යුතුය.අප යල හා මහ කන්න හඳුනා ගන්නේ මෙවැනි දේ පාදක කොටගෙනය.

පාංශු ජලය

පැළෑටියක ජල අවශ්‍යතාවය බොහෝ දුරට සපයාගන්නේ පස හරහාය.වායුගෝලයෙන්ද යම් ප‍්‍රමාණයක් ජලය ලබා ගන්නට හැකියාවද ඇත. පාංශු කැටිති තුල රැඳී පවත්නා නන් ආකාරයේ ජල කොටස් පාංශු ජලය ලෙස සැලකෙයි. එනිසාම පැලයකට අවශ්‍ය ජලය මුල් වලින් ලබා ගත හැකි අයුරු සකසා දිය යුත්තේ පස හරහාමය.


යම් අයුරකින් ලඛා ගත හැකි ජල ප‍්‍රමාණය පසෙහි අඩු වුවහොත් පැළෑටි දුක් විඳිනු ඇත, ජල ඌණතාවයන් නිසා. නොයෙක් අයුරින් ජලය පසේ රැඳී ඇතිමුත් වඩාත්ම පැළෑටියකට වැදගත් වන්නේ පැළෑටියකට ලබා ගත හැකි අයුරින්
සංචිතව ඇති ජලයයි. ඉතා දැඩිව පස් අංශු වෙත රඳවාගන ඇති ජලය හා ඉක්මනින් කිඳා බැස යන ඡලය කෙසේවත් පැළෑටියකට ලබා ගන්නට නුපුළුවන.

මෙසේ ලබාගත හැකි වන්නාවූ ජල සැපයුම තිරසාර බවක් පෙන්නුම් කරන්නේ නම් පැළෑටියකට ඉතා හොඳින් වැඩෙන්නට පුළුවන. කෙසේ හෝ වේවා මෙසේ පැළෑටියක ලබා ගන්නට හැකිවන ඡල ප‍්‍රමාණයන් බොහෝ දුරට තීරණය වන්නේ පසෙහි ගති ලක්ෂණ හා වර්ෂාපතනයේ ස්වභාවය අනුවය.


ඡලය වඩාත් රඳවා ගත හැකි වන පස් වර්ගද ( මැටි , ලෝම) එසේ රඳවා ගත නොහැකි පස් වර්ගද විවිධ ස්ථානවල තිබෙන්නට පුළුවන. මෙසේ ජලය රඳවා ගැනීමේ හැකියාවන් වර්ධනය වන ලෙස නන් අයුරින් පස කලමණාකරණය කර ගන්නට පුළුවන. එහෙයින් වගා කරුවෙකුට ඡුල පාලනයෙහි යෙදීම අතට ගෙන ප‍්‍රශස්ථ අයුරු පැළෑටියකට ලැබෙන සේ මෙහෙය වන්නට පුළුවන.


මෙවන් විටක ඉතාම වැදගත් වන්නේ එවැන්නකක් කෙසේ කල යුතුද යන්න ගැන මනා අවබෝධයක් ලබා ගැනීමයි. මෙහිදී ජලය රඳවා ගැනීමේ හැකියාවන් සහ ජලය පස තුල දිගු කලක් සංරක්ෂණය කර ගැනීමේ හැකියාවන් යන කරුණු ඉලක්ක කොට ගත යුතුය. එසේ නොමැති වුවහොත් වගා කරුවෙකු වැස්සෙන් තමාට ලැබෙන ඡුලය තමන්ට හොරාම පස හරහා ගැඹුරු පෙදෙස් වලට ගමන් කරමින් හෝ පස මතුපිටින් ගලා යාම මගින් භෝගයන්ට සේවයක් නොකරමින් නැතිවී යන්නට පුළුවන.


එහෙයින් ස්වභාවයෙන් හෝ අන් අයුරින් තම ගොවිපලට ලැබෙන ජලය සංරක්ෂණය කර ගැනීම වගා කරුවෙකුගේ පරම වගකීමයි. එසේ ලැබෙන ජලය ඉතා කාර්යක්ෂම හා ආර්ථික ඵලදායි වන අයුරින් කලමණාකරණය කර ගැනීම අත්‍යාවශ්‍යය. මෙය වගා කරුවෙකුට ජලය ගැන මනා අවබෝධයෙන් යුතුව ලඟා කරගත හැකි දෙයකි.

 

 

ජල ආතතිය

යම් අයුරකින් වගා බිමට ලැබෙන ජලය මද වුවහොත් හෝ අනිසි ලෙස කලමණාකරණයට භාජනය වුවහොත් කන්නය පුරාම හෝ කඩින් කඩ භෝගයන් ජල ඌනතාවයන්ට පත් වීමෙන් ජල ආතති තත්ත්වයක් පෙන්නුම් කරනු ඇත. මෙවන් විටෙක කෙටි කාලීනව සිදු වූවත් පැළෑටියක වර්ධනය අඩාල වනු ඇත. එසේ වූ විට පැළෑටියක පූර්ණ වර්ධනය අනුගත වූ අස්වැන්නක් නොලැබෙනු ඇත. වරෙක පැළෑටි මිය යන්නටද පුළුවන.

ජල සැපයුම අඩු වීමෙන් මුල් මගින් උරා ගන්නා පෝෂණ ප‍්‍රමාණයන්ගේද බරපතල අඩු වීම් ඇතිවේ. එසේ වූ විට ජල ඌණතාවය නිසා පෝෂක ඌණතාවයන්ටද මුහුණ දෙන්නට පැළෑටියකට සිදුවනු ඇත. මෙවන් තත්ත්ව යටතේ අඩු ගුණයෙන් යුතු අඩු අස්වැන්නක් ලැබෙන අතර තත්ත්වය ඉතා බරපතල නම් අස්වැන්න නැතිවී යන්නටද හැකියාව ඇත.

මේ සම්බන්ධයෙන් අවබෝධ කරගත යුතු තවත් දෙයක් වන්නේ පොහොර භාවිතයේ ක්ෂමතාවයයි. ජලය පසක නිසි අයුරින් නොමැති නම් පොහොර එකතු කල පමණටම පැළෑටියක් පෝෂක ලබා නොගනු ඇත. මෙවන් තත්ත්ව මිල අධික පොහොර වල ප‍්‍රථිඵලයන් අවම කරනු ලබයි. පෝෂණ වර්ග සමස්ථයක් ලෙස පසක තිබුණද ඒවා පැලයකට ලබා ගත හැකි අයුරට පරිවර්තනය වීම සඳහාද ජලය අත්‍යාවශ්‍යම වෙයි.

එයට හේතුව වන්නේ වඩාත්ම අවස්ථා වල පරිවර්තනයන් කරනුයේ පාංශු ක්ෂුද්‍ර ජීවීන් ජීවත් වීමත් ඔවුන්ගේ දිවි පැවැත්මට ජලය අත්‍යවශ්‍ය වන නිසාත් ය.

මෙලෙස බලන කල වගා කරුවාගේ ජල සංරක්ෂණය කිරීම පිළිබඳ ඇති දැනුම පැළෑටියක් ජල ආතති තත්ත්වයට පැමිණීම වලක්වා ගැනීමට ඇති බලවත්ම මෙවලම වනු ඇත. කිසිම ජල සංරක්ෂණයක් කල නොහැකි හෝ නොකල තත්ත්ව යටතේ පසට අප‍්‍රමාණ ලෙස වාරි ජලය ලබා දීමට සිදුවනු ඇත. මෙය ජලය අපතේ යැවීමක් වනු නොඅනුමානය. පාංශු ජල සංරක්ෂණය කිරීමට බොහෝ උපාය උපක‍්‍රම ඇති නිසා තද බල ජල ආතති පැළෑටියක ජීවිත ඉරණම තීරණය කරනු ඇත.

උෂ්ණත්වය

සෑම ජීවියෙකුගේම මනා පැවැත්මට උචිත වන්නාවූ උණුසුමක් හෝ සිසිලක් අවශ්‍යය. පැළෑටි වලටද ඒ ඒ වර්ගය අනුව එම අවශ්‍යතාවය වෙනස් වන්නට පුළුවන. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් නිරූපනය වන්නේ උෂ්ණත්වය ලෙසය.`දල වශයෙන් ගත් කල සියළු පැළෑටි වර්ග ප‍්‍රශස්ථ වර්ධනයක් හා පැවැත්මක් සඳහා සෙන්ටිග්‍රේඩ් 15°- 30° පමණ උෂ්ණත්ව පරාසයක දිවි ගෙවීමට කැමැත්ත දක්වයි. විශේෂයෙන්ම උෂ්ණත්වයේ වෙනස් වීම් අනුව සියළු ජීව ප‍්‍රතික‍්‍රියාවන්ගේ වේගය හා ප‍්‍රමාණය වෙනස් වෙයි. මෙහිදී පැළෑටියකට අහිතකර වන්නේ උෂ්ණත්වය ප‍්‍රමාණයට වැඩි වුවහොත් සහ ප‍්‍රමාණයට අඩු වුවහොත් යන අවස්ථා දෙකෙහිදීමය.

 

-- චලන රූපය (wikipedia) ---

පරිසර උෂ්ණත්වය 15°ට වඩා අඩු වන විටත් 30°ට වඩා වැඩි වන විටත් වර්ධනය බාල වෙයි. අන්ත තත්ත්ව වලට ගියහොත් පැළෑටි මිය යන්නටද පුළුවන. උෂ්ණත්වය වඩා ඉහල වූ විට තදබල ලෙස ශ්වසන ක‍්‍රියාවලිය වැඩි වී වැඞීම නවතින්නට පුළුවන. මේ හා බැඳී පවතින ජල අඩුව නිසා පැල මැලවී යයි. තැම්බූ බිත්තරයක් සේ ප්‍රෝටීන කැටි ගැසීමේ තත්ත්වයට පත් වන්නට පුළුවන.

සෑම පටකයකම ඇති ප්ලාස්මා කොටස් හැකිලීමද සිදු වෙයි. අවසානය පැළෑටියේ මරණයයි. උෂ්ණත්වය වඩාත්ම අඩු වූ විට පසෙහි අයිස් ඇතිවන නිසා ජලය ලබා ගැනීමට නොහැකිව යයි. පටක මධ්‍යයේ සහ ප්ලාස්මාවේද ඇති ජලය අයිස් බවට පත් වෙයි. මෙනිසාම දින කීපයකදී පැලය මිය යයි.

 

-- චලන රූපය (wikipedia) ---

කෙසේ හෝ වේවා යම් ප‍්‍රමාණවල අඩු උෂ්ණත්වයන්ට සහ යම් ප‍්‍රමාණවල වැඩි උෂ්ණත්වයන්ට ඔරොත්තු දෙන ශාඛ ඇතිවා සේම එවැනි තත්ත්ව වලට අනුවර්තනය වූ පැල වර්ග තිබෙන්නට පුලූවන.

එහෙයින්ම වගා කරුවන් දැන ගත යුතු කරුණක් වන්නේ යම් යම් දේශගුණික කලාප වලට, කාලගූණ තත්ත්වයන් වලට ගැලපෙන්නාවූ භෝග වර්ග තෝරා ගැනීමයි. සීත ප‍්‍රදේශ වල වැඩෙන ආවේනික වූ පැල වර්ග හා උෂ්ණාධික ප‍්‍රදේශ වල වැඩෙන ආවේනික වූ පැල වර්ග ඇති බව අප හොඳින් දනිමු. මෙසේ වීමට ඇති ප‍්‍රධානතම වූ සාධකයකි උෂ්ණත්වය නැතිනම් උණුසුම සහ සිසිල. මෙහිදී අප තේරුම් ගත යුතු දෙයක් වන්නේ පැලයක වැඞීමට පාංශු උෂ්ණත්වයෙහි හා වායුගෝලයෙහි උෂ්ණත්වයෙහි වෙනස් වීම් එකසේ බලපාන බවය.

ආලෝකය

සෑම පැලයක්ම ආහාර සංස්ලේෂණය කර ගැනීම සඳහා ආලෝකය පතයි.මින් අදහස් වන්නේ පැළෑටියක ප‍්‍රභාසංස්ලේෂණය යනු ආලෝකය සමග ඇති වන ගනු දෙනුවක් බවයි.කාබන් (C), හයිඩ‍්‍රජන් (H) සහ ඔක්සිජන් (O) එකට ගොනු කර පිෂ්ඨය මේදය සීනි වර්ග ප්‍රෝටීන ආදිය සෑදීමට පැලයකට අත්‍යවශ්‍ය වන්නාවූ ශක්තිය ලැබෙන්නේ ආලෝකයෙනි. ස්වභාවික තත්ත්ව යටතේ සූර්යාලෝකයෙනි. මෙම ආලෝක ශක්තිය අපට විකරණ ශක්තියක් ලෙසද ලැබේ. ආලෝක ප‍්‍රමාණය එහි තීව‍්‍රතාවය ලෙසද සලකන්නට පුළුවන පැලයක ප‍්‍රශස්ථ කාර්යයන් සඳහා උචිත ලෙස විකිරණ ප‍්‍රමාණයක් ද , තීව‍්‍රතාවයක් ද ලැබිය යුතුය. මේ අනුව යම් යම් පැළෑටි වර්ග එකිනෙකට වෙනස් ප‍්‍රමාණයන් හා තීව‍්‍රතාවයන් පතනු ඇත. මේවා ඉතාම සරල ලෙස ආලෝකයට වඩාත්ම කැමති සහ සෙවනට ලැදි පැළෑටි ලෙස හඳුනාගන්නට පුළුවන.

ආලෝකයේ බලයෙන් සිදුවන ප‍්‍රාථමික ප‍්‍රතික‍්‍රියාව වන්නේ පහත අයුරින් සීනි නිපදවීමයිග. නිපදවූ සීනි පසුව පිෂ්ඨයල ප්‍රෝටීනල මේදය ආදී දෑවලට ගොඩ නැගෙයි.

ග්ලූකෝස් සීනි අනෙක් සියළු සංඝටක වල පදනමයි. ගඩොල් කැටයක් බිත්තියක , ටැංකියක , පඩිපෙලක ආදියේ පදනම වන්නා සේ ආලෝකය වගා කරුවකුට කලමනාකරණය කරගත හැකි වනුයේ තරමක් සීමිතවය. ආලෝකය මිල අධිකව , මධ්‍යස්ථ මිලකට හා නොමිලයේ ම වගේ බොහෝ විටදී කලමනාකරණය කරගන්නට පුළුවන. නන් අයුරින් ඇති තාක්ෂණික ක‍්‍රම උපයෝගී කර ගනිමින්, කෙසේ හෝ වේවා මහා පරිමාණ වගාවන් වලදී මෙය ලෙහෙසි පහසු නොවන අතර අධික යෙදවුම් අවශ්‍ය ක‍්‍රියාවලියක්ද වනු ඇත. පැළෑටියක ඇති හරිතප‍්‍රද වලටය ආලෝක ශක්තිය උරා ගැනීමේ හැකියාව ඇත්තේ. බොහෝ දුරට පැලයක කොල වල වියලි බරින් 1 ක් පමණ හරිතප‍්‍රද ඇත. හරිතප‍්‍රද එම නිසාම ප‍්‍රභාසංස්ලේෂණ උපකරණයක් ලෙස හැඳින්වූවාට වරදක් නැත.

 

පෝෂක

මින් පෙර අප ආහාර සංස්ලේෂණය කර ගැනීමට පැළෑටියට කාබන්, හයිඩ‍්‍රජන් හා ඔක්සිජන් අවශ්‍ය වන ආකාරය දැන හැඳින ගතිමු. මෙම මූලික වූ සීනි නිපැයීම නැතිව පැළෑටියක ඉතිරි ඉදිරි ගමන ගැන සිතීමට පවා නොහැකිය. මෙනිසා අපට හැඟී යා යුතු දෙයක් වන්නේ ඉහත කී මූල ද්‍රව්‍ය තුන පැළෑටි වර්ධනයට අත්‍යාවශ්‍ය බවය. මෙලෙස අත්‍යාවශ්‍යයෙන් වර්ධනයට, ප‍්‍රචාරණයට හා පරම්පරාව ගෙන යාමට ඉවහල් වන තවත් මූල ද්‍රව්‍යයන් ඇත. මෙවැනි වූ මූල ද්‍රව්‍ය පැළෑටි පෝෂණයට අවශ්‍යම වන හෙයින් ඒවා පෝෂක ලෙස නම් කෙරී ඇත.

-->