ආරක්‍ෂිත කෘෂි තාක්‍ෂණික ක්‍රමවේද


ආරක්‍ෂිත ක්‍රම වල අවශ්‍යතාවය

ස්වභාවික පරිසර තත්ත්ව මගින් බෝග වගාවන්ට සිදුවන හානි අවම කර ගැනීම සඳහා ආරක්‍ෂිත බෝග වගා ක්‍රම මූලිකව යොදාගත හැක. මේ යටතේ සරල වසුන් භාවිතා කිරීමේ සිට පරිගණක මගින් පාලනය වන විශාල හරිතාගාර දක්වා වන ආරක්‍ෂිත ක්‍රම අඩංගු වේ. අහිතකර පරිසර තත්ත්ව මග හරවා ගැනීම මෙන්ම බෝග සඳහා අවශ්‍ය ප්‍රශස්ථ තත්ත්වයන් සැපයීමද මෙහි තවත් අරමුණකි.

විශේෂයෙන්ම ශීත දේශගුණික කලාප වල පවතින අඩු පරිසර උෂ්ණත්වය බෝග වගාවන් සඳහා දැඩි අහිතකර බලපෑම් ඇති කරයි. එමෙන්ම ශීත සෘතුවේදී බාහිර පරිසරයේ බෝග වගා කිරීම නොකෙරේ. එවන් තත්ත්ව යටතේ ආහාර නිෂ්පාදනය සඳහා ආරක්‍ෂිත ගෘහ භාවිතය ආරම්භ වුනි. හිම පතනයෙන් අධික වර්ෂාවෙන් සහ හිරු රශ්මියෙන් බෝග ආරක්‍ෂා කර ගැනීමත් වර්ධනය සහ විකසනයට අවශ්‍ය නියමිත උෂ්ණත්වයන් පෝෂක සංඝටකයන් සහ ආලෝක තත්ත්වයන් සැපයීමත් සැපයීමත් පස මාධ්‍යය ලෙස යොදා ගැනීමෙන් ඇතිවන රෝග කාරක තත්ත්වයන් මග හරවා ගැනීමටත්, අනෙකුත් රෝග හා පළිබෝධ හානි අවම කරවා ගැනීමටත්, අස්වැන්නේ ප්‍රමාණය සහ ගුණාත්මය ඉහල නංවා ගැනීමටත් මෙම ආරක්‍ෂිත බෝග වගා ක්‍රමවේද හඳුන්වා දී ඇත.

ශ්‍රී ලංකාව වැනි රටවල ද අධික වර්ෂාව සහ සූර්යාලෝකය නිසා බෝග වලට සිදුවන හානි අවම කර ගැනීමටද, නුවරඑළිය වැනි ප්‍රදේශ වලදී උෂ්ණත්වය වැඩි කර ගැනීමටද, ඕනෑම ප්‍රදේශයකදී රෝග හා පළිබෝධ හානි අවම කර ගැනීමටද ආරක්‍ෂිත කෘෂි තාක්‍ෂණ ක්‍රමවේද භාවිතා කළ හැක. එසේම, උසස් තත්ත්වයේ දෙමුහුම් ප්‍රභේද, ආනයනිත ඇතැම් බෝග වර්ග අනිවාර්යයෙන්ම ආරක්‍ෂිත ක්‍රමවේද යොදා ගනිමින් වගා කළ යුතු වේ. මන්ද යත්, බාහිර පරිසර තත්ත්වයන්ට ඒවා සාර්ථකව ඔරොත්තු නොදෙන බැවිනි.

හැසිරවිය හැකි බෝග නිෂ්පාදනයට අවශ්‍ය සාධක

ආලෝකය, ජලය, පෝෂක, උෂ්ණත්වය, ආද්‍රතාවය, සුළෙඟ් වේගය (වාතනය), කාබන් ඩයොක්සයිඞ් ඇතුළු බොහොමයක් සාධක ආරක්‍ෂිත ක්‍රමවේද යටතේ හැසිරවිය හැක. මෙම සාධකයන් හැසිරවීමේ මට්ටම තීරණය වන්නේ යොදා ගන්නා ආරක්‍ෂිත ක්‍රමවේදය මතයි. උදාහරණ ලෙස, වසුන් යෙදීම මගින් පාංශු උෂ්ණත්වය පාලනය කරන අතර ජලය සංරක්‍ෂණය කරයි. උෂ්ණත්වය වැඩි වීම බාහිර සාධක මත තීරණය වේ. නමුත් හරිතාගාරයක් තුළ උෂ්ණත්වය නියමිත පරිදි පාලනය යාන්ත්‍රිකව සිදු කළ හැක. අධික ලෙස විචලනය වීම වැලැක්වීම සඳහා අනෙකුත් තාක්‍ෂණයන් රැසක් එතුළ ක්‍රියාත්මක වේ.

බෝග නිෂ්පාදනතාවයට බලපාන සාධක හැසිරවීමේ තාක්‍ෂණයන්

  • ආලෝකය හැසිරවීම

    ශාක වල ප්‍රභාසංස්ලේෂණය සඳහා ආලෝකය අත්‍යාවශ්‍ය වේ. ආරක්‍ෂිත බෝග වගාවේදී ආලෝකය සීමාකාරී සාධකයක් වන අතර ඇතැම් සෙවන ප්‍රිය කරන ශාක සහ තවාන් සෙවන සහිතව මේවායේ වගා කෙරේ. ආරක්‍ෂිත ගෘහ තුළ ආලෝකය වැඩි කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිතා වේ. වීදුරු හෝ පැහැදිලි පොලිතීන් වහලය සඳහා භාවිතා කිරීම, ආලෝකය පරාවර්තනය කරන වසුන් භාවිතා කිරීම, සුදු පැහැති පෘෂ්ඨ භාවිතය, ආලෝකය උපරිමව ලැබෙන ස්ථානයක ගෘහය ස්ථාපිත කිරීම සහ කෘත්‍රිම ආලෝක ප්‍රභව යොදා ගැනීම ඒ අතර වේ. එසේම, ලැබෙන ආලෝක ප්‍රමාණය අඩු කිරීම සඳහා පාට කළ වීදුරු හෝ සෙවන දැල් වර්ග යොදා ගැනීම, නිරතුරුව වහලය පිරිසිදු කිරීමෙන් වැලකි සිටීම, රළු සහ තද පැහැති වසුන් භාවිතය, ගෘහය අවට උස් ශාක වගා කිරීම, බෝග ඉතා සමීපව සිටුවීම සහ තද පැහැති දැල් ගෘහයේ පැති සඳහා යොදා ගැනීම කළ හැක.
  • පොහොර හැසිරවීම

    වැඩෙන ශාක වලට අවශ්‍ය පෝෂණය ලබා දීම සඳහා නියමිත වර්ධක කාල පරාසයන් තුළ අවශ්‍ය පරිදි පෝෂක සැපයීම මෙහිදී සිදු කෙරේ. ශාක වල පෝෂක අවශ්‍යතාවය, ශාක වර්ගය මත, වර්ධක අවස්ථාව මත, දේශගුණික සාධක මත සහ ශාක වල සෞඛ්‍ය තත්ත්වය ආදී කරුණු මත තීරණය වේ. විවිධ ප්‍රභව යොදා ගනිමින් පෝෂක සැපයීම මෙහිදී සිදුවේ. ඝණ පෝෂක මෙන්ම ද්‍රව පෝෂක ද මෙහිදී භාවිතා කෙරේ. මෙහි විශේෂත්වයක් වන්නේ පසෙහි මෙන් නොව, සියළුම අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයන්ට අනුව ශාක වලට අවශෝෂණය කරගත හැකි සංයුතියෙන් යුතුව සම්පාදනය කිරීමයි.
  • ජලය හැසිරවීම

    ශාක වර්ධනය සඳහා ජලය අත්‍යවශ්‍ය වේ. ආරක්‍ෂිත බෝග වගාවේදී ප්‍රශස්ථ ජල සැපයීමක් සිදු කරනු ලබයි. ශාකයේ අවශ්‍යතාවය, දේශගුණික සාධක ආදිය මත සපයනු ලබන ජල ප්‍රමාණය තීරණය කරයි. බිංදු ජල සම්පාදනය සහ විසිර ජල සම්පාදනය වැනි නවීන ක්‍රම මෙහිදී භාවිතා වේ.
  • වාතය හැසිරවීම

    ප්‍රභාසංස්ලේෂණය සඳහා අවශ්‍ය කාබන් ඩයොක්සයිඞ් වායුව සැපයීම මූලික අරමුණයි. හරිතාගාර තුළ මෙම වායුව දිවා කාලයේදී සීමාකාරී සාධකයක් වන අතර වා කවුළු විවෘත කිරීමෙන් සහ කෘත්‍රිමව CO2 සැපයීම මගින් ප්‍රශස්ථ අගයන් අතර පවත්වා ගනී.
  • උෂ්ණත්වය හැසිරවීම

    ආරක්‍ෂිත ගෘහ තුළ උෂ්ණත්වය වැඩි වීම නිරන්තරයෙන් සිදු වේ. වහලයේ උස වැඩි කිරීමෙන්, වෙනස් කළ හැකි ලෙස සැකසූ වා කවුළු භාවිතයෙන්, පැති සඳහා දැල් භාවිතයෙන්, පංකා භාවිතයෙන්, විසිර ජලය භාවිතයෙන් සහ වායු සමනය කිරීමෙන් උෂ්ණත්වය අඩු කළ හැක. එසේම, උෂ්ණත්වය ඉහල නැංවීම සඳහා සංවෘත ගෘහ භාවිතය, වසුන් භාවිතය, තද පැහැති ඇතුළත බිත්ති, රත් වූ දඟර භාවිතය, රත් වූ වාතය සහ ජලය යොදා ගැනීම සිදු කෙරේ.
  • සාපේක්‍ෂ ආද්‍රතාවය හැසිරවීම

    ශාකවල උත්ස්වේදන ශීඝ්‍රතාව පාලනය කරන එක් සාධකයකි, අවට පරිසරයේ සාපේක්‍ෂ ආද්‍රතාවය, උත්ස්වේදන ශීඝ්‍රතාව මත ශාක වලට අවශෝෂණය කරගන්නා ජලය සහ පෝෂක ප්‍රමාණය තීරණය වේ. සාපේක්‍ෂ ආද්‍රතාව අඩු කිරීම සඳහා රසායනික අවශෝෂක ආදිය භාවිතා කරන අතර ඉහල නැංවීම සඳහා විසිර ජලය භාවිතය ආදිය සිදු කෙරේ.

රෝග කාරකයින් හා පළිබෝධකයින්ගෙන් ආරක්‍ෂාව

මෙහිදී සාපේක්‍ෂව විශාල පළිබෝධකයන්ගෙන් වන හානි අවම අතර, ඉතා කුඩා පළිබෝධකයින් සහ ක්‍ෂුද්‍ර ජීවීන්ගෙන් වන හානි ඇතැම් විට බහුල වේ. මීට හේතු කාරක ලෙස, රෝග හා පළිබෝධ වලට ඔරොත්තු නොදෙන දෙමුහුම් බෝග භාවිතය, ඉතා සුවදායී පරිසර තත්ත්ව පැවතීම, සමූහ වශයෙන් බෝග ඉතා ලංව සිටුවීම, ස්වභාවික සතුරන් නොමැති වීම, රසායනික පළිබෝධ පාලනය සීමා සහිත වීම ආදිය හඳුන්වා දිය හැක.


බොහෝ විට ආරක්‍ෂිත ගෘහ තුළ ක්‍රියාත්මක වන්නේ සමෝධානික පළිබෝධ පාලන ක්‍රමයි. පළිබෝධ පාලනයට වඩා පලිබෝධකයින් ඇතුළුවීම වැලැක්වීමට මූලිකවම පියවර ගනී. කෘමීන්ට ඇතුළු විය නොහැකි ආරක්‍ෂිත දැල් භාවිතය, රෝග සහ පළිබෝධ වලට ඔරොත්තු දෙන ප්‍රභේද වගා කිරීම, ගෘහය තුළ උපරිම පිරිසිදු බවක් පවත්වා ගැනීම, වල් මර්ධනය, ඇලෙන සුළු උගුල් භාවිතය, ජෛව පාලන ක්‍රම මෙන්ම රසායනික පාලන ක්‍රමද එක විට යොදා ගැනීම මෙහිදී සිදු කෙරේ.

වර්ෂාපතනයෙන් ආරක්‍ෂාව

අධික වර්ෂාපතනය බෝග වගාවන්ට හානි සිදු කරයි. ආද්‍රතාවය වැඩි කිරීම, දුර්වල ජලාපවහන තත්ත්ව, පරාග සහ කුඩා පළතුරු, මල් හැලීයාම වැනි දෑ මගහරවා ගැනීමට හරිතාගාර භාවිතා වේ.

නූතන තාක්‍ෂණ ක්‍රම

  • ජල වගාව

    ජලීය පෝෂක මාධ්‍යයක් තුළ ඝණ මාධ්‍යයක් සහිතව හෝ රහිතව බෝග වගා කිරීම ජල වගාවයි. දුර්වල පාංශු තත්ත්වයන් මග හරවා ගැනීමට සහ බෝග වලට අවශ්‍ය ප්‍රශස්ථ තත්ත්වයන් උපරිම ලෙස සැපයීම ජල වගාවේ අරමුණයි. ඇතැම් විට වැලි, බොරළු, කොහු බත් ආදී අජීවී ද්‍රව්‍ය ඝණ මාධ්‍යය ලෙසද අඩංගු කරයි. එකම භූමිය තුළ දිගින් දිගටම වගා කිරීමට හැකි වීම, පස සැකසීම හා ජීවාණුහරණය සඳහා යන වියදම සහ ශ්‍රම වියදම අවම වීම, සියළු කාලගුණ තත්ත්ව යටතේ ක්‍රියාත්මක කළ හැකි වීම ආදිය ජල වගාවේ වාසි වේ. එසේම, මූලික වියදම අධික වීම, නඩත්තු වියදම් අධික වීම, තාක්‍ෂණික දැනුම අවශ්‍ය වීම, ගුණාත්මයෙන් ඉහල ජලය අවශ්‍ය වීම, ඉතා සුපරික්‍ෂාකාරීව ක්‍රියාත්මක කළ යුතු වීම ආදිය ජල වගාවේ අවාසි අතර වේ.
  • ආරක්‍ෂිත ගෘහ

    අධික ශීතල, අධික උෂ්ණත්වය, අධික වර්ෂාපතනය, මීදුම, දැඩි සුළං, රෝග හා පළිබෝධ, අම්ල වර්ෂා හා වායු දූෂණ තත්ත්ව මග හරවා ගැනීමටත් බෝග වගාවන් සඳහා අවශ්‍ය ප්‍රශස්ථ උෂ්ණත්වය, ආද්‍රතාවය, ආලෝකය, CO2" පාංශු තෙතමනය හා පෝෂක සම්පාදනයටත්, ශාක අභිජනන ක්‍රියාවලි සඳහාත් ආරක්‍ෂිත ගෘහ භාවිතා වේ. පොලිතීන් ගෘහ, වීදුරු ගෘහ, දැල් ගෘහ, සෙවණ ගෘහ, වැසි ආරක්‍ෂක ආදී වශයෙන් විවිධාකාර ආරක්‍ෂිත ගෘහ පවතී.
  • ජලය සමග පොහොර සැපයීම

    මෙහිදී සාන්ද්‍රනයෙන් වැඩි පෝෂක වෙන වෙනම තොග වශයෙන් ගබඩා කර තිබෙන අතර ජල සැපයුම සමග සම්බන්ධ කර අවශ්‍ය පරිදි කුඩා ප්‍රමාණයන්ගෙන් ජලය සමග මිශ‍්‍ර කර බෝග වලට සපයනු ලැබේ.
  • ආරක්‍ෂිත කෘෂිකර්මයට දෙමුහුම් බෝග

    ආරක්‍ෂිත භෝග වගාවේදී මූලික වියදම අධික වන අතර උපරිම ඵලදාවක් උසස් ගුණාත්වයෙන් යුතුව ලබා ගැනීම වගා කරුවන්ගේ අරමුණයි. එවිට අස්වනු ඉහල මිලකට අලෙවි කර ඉහල ලාභයක් ලබා ගැනීමට හැකි වේ. එම නිසා රෝග හා පළිබෝධ වලට ඔරොත්තු දෙන, වෙළඳපොල ඉල්ලූමට සරිලන ලක්‍ෂණ ඇති, පසු අස්වනු හානි අඩු දෙමුහුම් ප්‍රභේද ආරක්‍ෂිත වගාවන් සඳහා හඳුන්වා දී තිබේ. ප්‍රශස්ථ ආරක්‍ෂිත තත්ත්ව යටතේ මෙම දෙමුහුම් ප්‍රභේද උපරිම අස්වැන්නක් ඉහල ගුණාත්මයෙන් යුතුව ලබා දේ.

ප්‍රකාශන නිර්මාණය:- ආචාර්ය එස්.පි.නිස්සංක