පොහොර භාවිතය


රසායනික පොහොර, කාබනික පොහොර සහ ඒවායේ කාර්යය භාවිතය

ලංකාවේ වෙලඳපොලේ ඇති පොහොර ස්ඵටික, කැට හෝ දියර ලෙස හඳුනාගත හැක. මෙම පොහොර බොහෝ විට තනි පෝෂකයක් ලබා දේ. එහෙත් දියර පොහොරවල පෝෂක ගණනාවක් අඩංගු වේ. එලෙසම පෝෂක කීපයක් සහිත කැට පොහොරද වර්ග කීපයක්ද (උදා. නිල් කැට) වෙළෙඳපොලේ ඇත.

 

පොහොර අඩංගු පෝෂක සංයුතිය
යූරියා නයිට්‍රජන් 46‍%
ඇමෝනියම් සල්ෆේට නයිට්‍රජන්, සල්ෆර් 21‍%
ඇමෝනියම් නයිට්‍රේට් නයිට්‍රජන් 20-33‍%
ඇමෝනියම් පොස්පේට් නයිට්‍රජන්, පොස්පරස් 11‍%
ටි‍්‍රපල් සුපර් පොස්පේට් පොස්පරස් 50‍% (P2O5)
සින්ගල් සුපර් පොස්පේට් පොස්පරස් 18‍% (P2O5)
එප්පාවල රොක් පොස්පේට් පොස්පරස් 28-30‍% (P2O5)
මියුරියේට් ඔෆ් පොටෑෂ් පොටෑසියම් 60‍% (K2O)
පොටෑසියම් සල්පේට් පොටෑසියම් 52‍% (K2O)
පොටෑසියම් නයිට්‍රේට් පොටෑසියම් 44‍% (K2O)
සල්පර් කුඩු සල්පර්
ජිප්සම් කැල්සියම්
ඩොලමයිට් කැල්සියම්, මැග්නීසියම්

අංශු මාත්‍ර මූලද්‍රව්‍ය
(දියර පොහොර)

මේවා පිලිබඳ තව දුරටත් විස්තර පහත වෙබ් අඩවි වලින් ලබා ගත හැක.

--- පසුව ඇතුල් කරනු ලැබේ ---


පොහොර පසට දැමූ විට එහි ඉරණම පොහොර වර්ගය අනුව වෙනස් විය හැක.


ඉහත දක්වා ඇත්තේ සාමාන්‍යයෙන් පොහොරකට සිදුවිය හැකි දේවල් ය. නමුත් ජලයේ ද්‍රාව්‍යතාවය සමහර පොහොරවල වැඩි අතර සමහරක අඩුය. පහසුවෙන් ජලයේ දියවන යූරියා, ඇමෝනියම් සල්පේට් ආදිය ඉක්මනින් පාංශු ජලයට එකතුවේ. එම ද්‍රව්‍ය ශාකයක් ඉක්මනින් උරා ගත්තේ නැති නම් ඒවා පසෙන් ඉවත් වී යා හැක. නැතහොත් පාංශු කලිල සහ කාබනික ද්‍රව්‍ය වලට අවශෝෂණය වී යම් කාලයක් තුළ ශාකයට ලබාගත නොහැකි තත්වයකට පත් විය හැක. ටි‍්‍රපල් සුපර් පොස්පේට් වැනි පොහොර ජලයේ දිය වන්නේ සෙමින් බැවින් එය පසෙන් ඉවත් වීම අවදානම අඩුය. එසේ පාංශු ජලයට එක්වන පොස්පේට අයන වෙනත් අයන සමග අවක්‍ෂේප සෑදී ශාකයට ලබා ගත නොහැකි තත්වයකට පත්විය හැක.

 

පොහොර කාර්යක්‍ෂමතාවය වැඩි කරන්නේ කෙසේද?

මෙම විවිධ ක්‍රියාවන් පොහොර වර්ගය අනුව වෙනස්වන හෙයින් පොහොර කාර්යක්‍ෂමතාවය වැඩි කරන විධි ක්‍රම පොහොර වර්ගය අනුව වෙනස් වේ. එනමුත් සම්මතයක් ලෙස මුල් අසලට පොහොර යෙදීම පොහොරවල කාර්යක්‍ෂමතාවය වැඩි කරන මූලික උපක්‍රමයකි. පොහොරවල කාර්යක්‍ෂමතාවය වැඩි කිරීමට නම් සාධක තුනක් සැපිරිය යුතුය.

1. පසෙන් පොහොර ඉවත්වීම අවම කිරීම

  • බෝගයට අවශ්‍ය ප්‍රමාණ කොටස් වශයෙන් වරින් වර යෙදීම ඵලදායී ය. උදාහරණයක් ලෙස වී ගොවිතැන සඳහා යූරියා නිර්දේශ කරන්නේ මූලික පොහොරක් ලෙසත් පැල සිටුවා සති ගණනකට පසු දෙවරක් යොදන ලෙසයි.

  • කුඹුරු පසකට නයිට්‍රජන් යොදන විට නිර්වායු ස්ථරයට යූරියා යෙදීම සුදුසුය. එසේ නොවුනහොත් ක්‍ෂරණය වීමත් වායු ලෙස ඉවත් වීමත් සිදුවේ.
  • පසේ pH අගය අනුව සුදුසු පොහොර යෙදීම

2. පසේ පොහොර රැුඳෙන ප්‍රමාණය වැඩි කිරීමට පසට කාබනික ද්‍රව්‍ය යෙදීම නිර්දේශ කෙරේ. එවිට කාබනික ද්‍රව්‍ය වියෝජනය වී සෑදෙන කලිල මගින් අයන අවශෝෂණය වේ.

3. ශාක වර්ගයට සුදුසු තත්ව එනම්, ප්‍රමාණවත් ජලය සහ සෙසු පෝෂක ලබා දීම මගින් යොදන ලද පොහොරද කාර්යක්‍ෂමව බෝගය ලබා ගනී

පොහොර නිර්දේශ - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව


කාබනික පොහොර

දේශීය වශයෙන් ස්වභාවයේ පවතින ද්‍රව්‍ය රාශියක් කාබනික පොහොර ලෙසට පසට එකතු කළ හැක.
උදා: පිදුරු, ශාක පත්‍ර සහ නොමේරූ කඳන් (එරබදු, වැටමාර, පිල, වල් සුරියකාන්ත), දහයියා, ගොවිපල අපද්‍රව්‍ය, ගොම, මූත්‍ර සහ අනෙකුත් ශාක අපද්‍රව්‍ය, කුකුළු පාලනයේදී සහ ඌරන් පාලනයේදී ඉවත් කරන ද්‍රව්‍ය. මීට අමතරව ඉහත සියළුම ද්‍රව්‍ය මෙන්ම කුස්සියෙන් ඉවතලන ද්‍රව්‍ය යොදා ගනිමින් කොම්පෝස්ට් පිලියෙල කර ගත හැක.

හරිතමය ද්‍රව්‍ය පොහොර ලෙස

  • ශාක කොටස් හෝ මුළු ශාකයම කාබනික පොහොර ලෙස යොදා ගැනීම වී වගාවේදී බහුලව සිදුවේ. මෙසේ යොදා ගනු ලබන ශාක කොටස් කෙලින්ම කුඹුරට යොදනු ලැබේ. සීසෑමත් සමග මෙම ද්‍රව්‍ය පසට එක්වී ඉක්මනින් දිරාපත් වේ. මෙසේ යොදනු ලබන වැටමාර (ග්ලිරිසීඩියා), වල් සූරියකාන්ත, එරබදු ආදිය නයිට්‍රජන් වලින් පොහොසත්ය. ඒවායේ 5%ක් පමණ නයිට්‍රජන් අඩංගුය.

  • තේ, ගම්මිරිස් සහ කොකෝවා වගා කරන විට එම බිමේම එරබදු, වැටමාර වැනි ගස් සිටුවා වරින් වර අතු කපා පසට එක් කෙරේ.

  • වියලි කලාපයේදී කන්න දෙකක් අතර මුං ඇට, සන්හෙම්ප් ආදිය වගා කර ඊළඟ කන්නයේ වී වගාවට පෙර පසට එක් කළ හැක.

මෙම ශාක ද්‍රව්‍යවල ඇති කාබන් සහ නයිට්‍රජන් අනුපාතය අඩු නිසා මේවා ඉක්මනින් දිරාපත් වී පෝෂක ලබා දේ.

පිදුරු පොහොරක් ලෙස

පිදුරු පොහොරක් ලෙස කෙලින්ම කුඹුරුවලට යෙදිය හැකි අතර වසුන් ලෙස විවිධ බෝග සඳහා භාවිතා කෙරේ. කොම්පෝස්ට් සෑදීමේ ද්‍රව්‍යයක් ලෙසද පිදුරු බහුලව භාවිතා වේ.

පිදුරු වල 60% පමණ C අඩංගු වේ. එහි නයිට්‍රජන් ප්‍රමාණය 0.7 - 0.8% වන අතර පොටෑසියම් ප්‍රමාණය 1.7 - 2% දක්වා වේ. පිදුරු වියෝජනය වන්නේ ඉතා සෙමින්ය. එයට හේතුව එහි අඩංගු ලිග්නින් සහ සෙලියුලෝස් වැනි වියෝජනයට ප්‍රතිරෝධී ද්‍රව්‍ය පැවතීමයි. අනෙක් කාරණය පිදුරුවල ඇති නයිට්‍රජන් ප්‍රමාණය සුළු හෙයින් (කාබන් : නයිට්‍රජන් ප්‍රතිශතය 60 - 80 පමණ) ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය සීමා වීමයි. එහෙයින් පිදුරු වල යූරියා ස්වල්පයක් දියකර ඉසීමෙන් එහි දිරන වේගය වැඩි කර ගත හැක.


කුඹුරුවලට යෙදීමේදී පිදුරු කඳු ලෙස ගොඩගසා දිරා යාමට ඉඩ හැරේ. මේ සඳහා මාස 2ක් පමණ ගත වේ. පිදුරු දිරාපත් වූ විට පසට එක් කිරීම එම කන්නයේදී හෝ ඊළඟ කන්නයේදී සිදු කළ හැක.

පිදුරු කුඹුරකට යෙදූ විට නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා වර්ධනය වන අතර පසේ පෝෂක රඳවා ගැනීමේ හැකියාව ඉහල යයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පොටෑසියම් පොහොරක් ලෙස පිදුරු නිර්දේශ කරයි. කුඹුරකින් අස්වැන්න නෙලීමේදී ඉවත් කරන සියළුම පිදුරු ආපසු කඹුරකට දැමිය හැකි නම් මියුරියේට් ඔෆ් පොටෑෂ් දැමිය යුතු නැති බවට පර්යේෂණ සාක්‍ෂි ඇත.

ගොවිපල පොහොර

ලංකාවේ සුලභව ඇති ගොවිපල පොහොර වනුයේ ගොම සහ කුකුල් පොහොරයි. මේවා විශාල වශයෙන් එළවළු වගාවටත් සුළු ප්‍රමාණයක් වී ගොවිතැනටත් යොදා ගැනේ.

කුකුල් පොහොරවල ඇති පෝෂක ප්‍රමාණය අනෙක්වාට වඩා වැඩිය.

නයිට්‍රජන් පොස්පරස් කොපර් සින්ක්
ගොම පොහොර 0.42% 0.1 30 217
කුකුල් පොහොර 1% 0.4 96 269

 

කුකුල් පොහොර යෙදීමේදී අංශුමාත්‍ර මූලද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පසට එකතු වේ. දීර්ග කාලීනව මේවා යෙදීමෙන් විෂ තත්ත්ව ඇති විය හැක.


කොම්පෝස්ට්

කොම්පෝස්ට් සාදනු ලබන මිශ්‍රණයට විවිධ ස්වභාවික ද්‍රව්‍ය, ගොවිපොල පොහොර, කොල රොඩු, පිදුරු සහ අනෙකුත් බෝගවල අස්වැන්න නෙලීමෙන් ඉවත් කරන කොටස් සහ ගෙදරදොර අපද්‍රව්‍ය යොදා ගත හැක. මීට අමතරව නාගරිකව එකතුවන කුණු ද සමහරක් රටවල භාවිතා කරන නමුත් කර්මාන්තශාලාවලින් ඉවත් කරන අපද්‍රව්‍යවල ස්වභාවය පරීක්‍ෂා කර සුදුසු නම් පමණක් යොදා ගැනේ. එයට හේතුව සමහර අපද්‍රව්‍ය කොම්පෝස්ට් සෑදීමේදී බැරලෝහ වැනි විෂ ද්‍රව්‍ය පසට එක් කළ හැකි බවයි.

කොම්පෝස්ට් යනු අමුද්‍රව්‍යයට වඩා හොඳ දෙයක් ලෙස සැලකිය යුතු නැත. හේතුව පිදුරු සහ අනෙකුත් ශාකමය ද්‍රව්‍ය පසට එකතු කරනු ලබන කාබන් ප්‍රමාණය කොම්පෝස්ට් එකක ඇති කාබන් ප්‍රමාණයට වඩා වැඩි වීමයි.

කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලියේදී දායක වන්නේ ක්‍ෂුද්‍රජීවීන් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයෙන් ආරම්භයේ තිබූ ද්‍රව්‍ය ජීර්ණය කර කාබන් : නයිට්‍රජන් අනුපාතය 30ක් පමණ වන ද්‍රව්‍යයක් මාස 2-3ක් පමණ කාලයක් තුළ නිෂ්පාදනය කෙරේ. මෙම ක්‍රියාවලියේදී මුල් මිශ්‍රණයේ තිබූ කාබනික ද්‍රව්‍ය වියෝජනය වන විට කාබන් ඩයොක්සයිඩි ලෙස යම් කාබන් ප්‍රමාණයක් වායුගෝලයට එක්වේ. මීට අමතරව නයිට්‍රජන්, ඇමෝනියා, සල්ෆර් ඩයොක්සයිඩි වැනි වායූන්ද මුදා හැරේ. එහෙයින් මුල් මිශ්‍රණයේ තිබූ පෝෂක අපතේ යෑමක් සිදුවේ. කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලිය ආරම්භ වී සති 2-4ක් පමණ වන විට එහි උෂ්ණත්වය (70oC) වැඩිවේ. එවිට මිශ්‍රණයේ ඇති සමහර ක්‍ෂුද්‍ර ජීවීන් මැරේ. වල්පැලෑටි බීජද විනාශ වේ.

--

දැනට ලංකාවේ කොම්පෝස්ට් සුළු ප්‍රමාණයක් වෙළඳ පොලේ ඇත. එම කොම්පෝස්ට් වලට ප්‍රමිතියක් නැත. එහෙයින් ඒවා යෙදීමේදී සුදුස් බව පරීක්‍ෂා කළ යුතුය.


ජෛව පොහොර

ශාකවල වර්ධනය වැඩි කර ගැනීමටත් පසේ සරු බව රැක ගැනීමටත් ජෛව පොහොර ඉන්දියාවේ මෙන්ම බටහිර රටවලද භාවිතා වේ. ශ්‍රී ලංකාවේ එවැනි පොහොර දැනට වෙළඳපොලේ නැත.

පොස්පේට් දියකර ශාකයට පොස්පරස් ලබා දෙන බැක්ටීරියා, නයිට්‍රජන් තිර කරන රයිසෝබියම් වැනි බැක්ටීරියා මෙන්ම පලිබෝධ සහ රෝග මර්ධනය කරන බැක්ටීරියාවන්ද බෝගවලට යොදනු ලැබේ.

ප්‍රකාශන නිර්මාණය:- ආචාර්ය චන්දි රාජපක්ෂ