කාබනික ගොවිතැන හා ප්‍රමිතීන්



කාබනික ගොවිතැන දැනට ජනප්‍රිය වෙමින් පවතින්නේ විශේෂයෙන්ම බොහෝ අය තුළ ඇති සෞඛ්‍යාරක්‍ෂක ආහාර ලබා ගැනීමේ අවශ්‍යතාවයත්, පරිසරය දූෂණය නොවී තබා ගැනීමේ අවශ්‍යතාවයත්, තිරසාර පාංශු සාරවත්භාවයන් රැක ගැනීමේ අවශ්‍යතාවයත් හා පාරම්පරික වගා ක්‍රම දැනට පවතින ගතානුගතික ගොවි ක්‍රමයන්ට සම්මිශ්‍රණය කර ගැනීමේ අවශ්‍යතාවයත් නිසාය. එසමගින්ම කාබනික නිපැයුම් වලට ඉහල මුදලක් ලබා ගැනීමේ හැකියාවද මතුවී ඇත. මෙවන් කරුනු කාරණා නිසා කාබනික ගොවිතැන ගෝලීයව ව්‍යාප්ත වෙමින් පවතී. ලෝකයේ සියළු රටවල යම් ප්‍රමාණයක කාබනික ගොවිතැන් වපසරිය වැඩි වෙමින් පවතී. එක් රටෙක වැඩි වශයෙන්ද, තවත් රටෙක අඩු වශයෙන්ද වුවත්. එහෙයින්ම අද කාබනික ගොවිතැන විශේෂිත වූ සහ, මනා පාලනයකට කොටු කර ගත්තාවූ ගොවිතැන් ක්‍රමයක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම කාබනික නිපැයුම් භාවිතය කරන පාරිභෝගිකයිනට නියමාකාර වූ නිපැයුම් සපයා දිය යුතුම නිසා.

පසුබිම හා ඉතිහාසය

මිනිසා විසින් මූලික ශිෂ්ඨාචාරයන් පටන් ගත් තැන් පටන් ක්‍රම ක්‍රමයෙන් කෘෂි රසායන භාවිතයට ඇබ්බැහි වූ කෘෂි වගා පද්ධතියන්ට හුවමාරු වන තුරු පවත්වාගෙන ගියා වූ වගා පද්ධති සහ වගා ක්‍රමයන් කාබනික ගොවිතැනට මෙන්ම ජෛව-ගතික ගොවිතැනට වඩාත්ම නෑකම් කියයි. එසේත් නැතිනම් ආසන්න වශයෙන් සමානයි. වෙනසකට තිබුනේ එම නිපැයුම් අද මෙන් තරඟකාරී වෙළඳාම් කටයුතු වලට උපයෝගි කර නොගැනීමයි. දහ අට වන සියවසේදී පමණ කෘත්‍රිම පොහොර හා රසායන භාවිතයල කෙරීගෙන ආ කාබනික ගොවිතැනට මුසු වීම තුලින් කාබනික ගොවිතැනෙහි වැදගත්කම අකා මකා ගියේය. මෙම කාල පරාසයේදී තර්කානුකූල විද්‍යාවේ දියුණුවෙන් හා රසායනික විශ්ලේෂණ හැකියාවල දියුණුවෙන් පැලෑටියක වර්ධනයේ රහස් රාශියක් හෙලි පෙහෙලි කර ගන්නට හැකි විය. මීට සමාන්තරව විශේෂයෙන් කෘෂි භෝග වල අස්වැන්න නොසිතූ අයුරු ඉහල දැමීමටත් කෘෂි විද්‍යාඥයින් සමත් විය.


 

කෙසේ හෝ වේවා අද සිදු කෙරෙන කාබනික ගොවිතැන නූතන ගොවිතැන් ක්‍රමයක් ලෙස අභිෂේක ලබා ඇත. මේ පිළිබඳව ප්‍රචාරාත්මක මට්ටමේ වැඩ සටහන් 1930 සිට පමණ මතු වන්නට පටන් ගැනින. එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ සර් ඇල්බට් හොවාර්ඞ් නූතන කාබනික ගොවිතැනෙහි පියා ලෙස පිළිගනු ලැබ ඇත. එම කාල වකවානුවට සමගාමීවම වාගේ ජර්මනියේ රුඩොල්ෆ් ස්ටයිනර් ජීව ගතික ගොවිතැන ගැන වගා කරුවන් දැනුවත් කරන්නට පටන් ගත්තේය. කාබනික ගොවිතැන නම් යෙදුම ඉදිරිපත් කරනු ලැබුවේ 1940 දී නෝර්න්බර්න් නැමැත්තෙකි. මෙය ඔහුගේ “Look to the Land” නම් පොතෙහි ඇත. එම කාල වකවානුවේදී කාබනික ගොවිතැන ඉතා නොසැලකිය යුතු ප්‍රමාණයකින් ව්‍යාප්තව තිබුනි. කෙසේ හෝ පසු කාලීනව කාබනික ගොවිතැන අළු ගසා ප්‍රබල ගතිකත්වයක් ලබා ගති, වෘත්තිය මට්ටමේ තත්ත්වයක් ඇති කර ගනිමින්.

මේ යටතේ කාබනික වගා කරුවෙකුට දැන ගත යුතු දේ බොහෝ ය. කාබනික ගොවිතැන් සංසිද්ධිය හොඳින් තේරුම් බේරුම් කර ගැනීමත්, එය කළ යුතු ආකාරය රටකට හා ලෝකයට සම්මතයක් සේ ගලපා ගැනීමත් අවබෝධ කර ගැනීම අත්‍යාවශ්‍යය. නූතන කාබනික ගොවිතැන පාරම්පරික ගොවිතැනෙහි මුල් බැස ගැනීමක් වුවත් එහි වර්ධනය සහ මේ සා ඇතිව ඇති ව්‍යාප්තිය විද්‍යානුකූලව පදනම් වී ඇත. මෙය බෝග වගාවේ විශේෂිත ආකාරයක් බවට අද පත්ව ඇත. කාබනික ගොවිතැනෙහි ව්‍යාප්තියට පක්‍ෂව හා විරුද්ධව නොයෙක් අදහස් මතු වූ අතරම දැනටමත් එසේ මතු වෙමින් පවතී.

වසර 24ක් ඉන්දියාවේ දිලීර සම්බන්ධ විෂය පථයක කෘෂි වගාවේ නිරතව සිටි ඇල්ප්‍රඞ් හොවාර්ඞ් මහතා ඉන්දියානු කෘෂි වගා අත් දැකීම් මුසු කර ගෙන කාබනික ගොවිතැනෙහි හර පද්ධති හා දැක්ම හඳුන්වා දෙනු ලැබීය, “An Agricultural Testament” නම් පොතක් 1943 දී ප්‍රකාශයට පත් කරමින්. මෙහිදී තදබල ලෙස බර තබා තිබුනේ පාංශු සාරවත් බව වැඩි කිරීමට හා පවත්වාගෙන යාමට එම පරිසරයේම දක්නට ලැබෙන අපද්‍රව්‍යයන් ප්‍රතිචක්‍රීකරණය කොතරම් දුරට උචිතද යන්නයි. ඔහු කොම්පෝස්ට් සැකසීමේ ඉන්ඩෝර් ක්‍රමයද හඳුන්වා දුනි. ඔහු විසින් මෙම වපසරියට ලියවුනු තවත් පොතකි “Farming and Gardening for Health or Disease”. හොවාර්ඞ්ට සෑම විටම තිබුනේ ලවණ සංකල්පයකට වඩා හියුමස් සංකල්පයකි. ඔහු කෘත්‍රිම රසායනය විසින් පාංශු ජීව ක්‍රියාවලියන් හා භෞතික ක්‍රියාවලියන් කඩා කප්පල් වන අයුරු පැහැදිලි කලේය. ඔහු කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයන් ගොවිතැනට මුසු කරනවාට දැඩි ලෙස විරුද්ධ වූ හෙයින්ම සමහරු කාබනික ගොවිතැන කෘෂි රසායන භාවිත නොකර කරන ගොවිතැන ලෙස සරලව

අවබෝධ කර ගති. නමුත් එය එසේම නොවේ, නූතන කාබනික ගොවිතැන ගැන බලන විටදී. එය බෝග වගාවේදී එක් වර සිදු කළයුතු කරුණු කාරණා ගොන්නකින් සැදුම්ලත් ගොවිතැන් ක්‍රමයකි.

නූතන කාබනික ගොවිතැන

නූතන කාබනික ගොවිතැන යනු සත්‍ය වශයෙන්ම භෝග වගාවන් වලදී එකවර සිදු කළ යුතු කාරණා කටයුතු සමූහයකින් සැදුම්ලත් ගොවිතැන් ක්‍රමයකි. එම කාරණා කටයුතු සමූහයට භෝග මාරුව, මිශ්‍ර වගාව, කොල පොහොර, කොම්පෝස්ට් සහ ගොවිපල පොහොර භාවිතය, ජීවීය හා යාන්ත‍්‍රීය පලිබෝධ නාශනය, සුමට ගොවි බීම් සැකසීම, පාංශු සංරක්‍ෂණය, සත්ව ඒකාබද්ධනය ගොනු කර ගැනීම සහ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය, කෘත්‍රිම පොහොර, කෘත්‍රිම වර්ධක හෝමෝන, කෘත්‍රිම සත්ත්ව ආහාර ලබා දීම ආදියෙන් සහ ජාන තාක්‍ෂණයට භාජනය වූ ජීවීන්ගේ භාවිතයන්ගෙන් ඉතා කල්පනාකාරීව වැලකීමයි. මේ සියල්ල එක්වරම හැකි අයුරින් සිදු කර ගැනීම තුලින් කාබනික ගොවිතැනෙහි හිනි පෙත්ත ළඟා කර ගන්නට පුළුවන.

නූතන කාබනික ගොවිතැන් ක්‍රමය ජාත්‍යන්තරව අනුමැතියට පත්ව පාලනය වෙමින් බොහෝ රටවල නීත්‍යානුකූල තත්ත්වයන්ට පත්වෙමින් පවතී. කාබනික වගා කරුවන්ට ප්‍රමිතීන් සම්මත කරගෙන හමාරය. ඒ ප්‍රමිතීන්ට අනුකූලව වගා කටයුතු කෙරෙන්නේදැයි පරීක්‍ෂාවට භාජනය කිරීමේ ක්‍රමවේදයන් ඇති වී හමාරය. කාබනික ගොවි නිපැයුම් වලට හා ගොවිපල වලට ගෝලීය ලෙස පිළිගත්තාවූ සහතික කිරීමේ ක්‍රමවේදයන් ඉදිරිපත් වී හමාරය. මේ නිසා කාබනික ගොවිතැන සහතික වූ ගොවිතැන් ක්‍රමයක් බවට පත්ව ඇත, විශේෂයෙන්ම පාරිභෝගිකයාගේ මනා ආරක්‍ෂාව පතා. පුද්ගලිකව සත්‍යවාදී වීම මගින් කාබනික නිපැයුම් විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙලඳ පොලට ඇතුල් කිරීමට නොහැකිව ඇත. ජාත්‍යන්තර සම්මතයන්ට කාබනික වගා කරුවාට අනුගත වන්නට සිදුව ඇත. එහෙයින්ම කාබනික වගා කරුවා දැන ගත යුතු දේ බොහෝය. කාබනික වගාව සඳහා අවශ්‍ය මූලික මගපෙන්වීම් සපයා ඇත්තේ ජාත්‍යන්තරය පිළිගත් International Federation of Organic Agriculture Movements (IFOAM) නමැති සංවිධානය මගිනි. මෙය රට රටවල ඇති කාබනික ගොවිතැන් ව්‍යාපාර සංගමයන් නියෝජනය කරන්නා වූ එකමුතුවකි. මෙය 1972 පිහිටවූ එකක් වන අතර ලාංකික සාමාජිකත්වය “Lanka Organic Agriculture Movement” (LOAM) මගින් ආවරණය වී ඇත. මෙය සංවිධානය කෙරී ලියාපදිංචිය ලබා ඇත්තේ 1979 වසරේදීය.

IFOAM කාබනික වගාව නිර්වචනය කරන්නේ ඔවුන්ගේම වචන වලින් පහත අයුරින්ය.

“Organic agriculture is a production system that sustains the health of soils, ecosystems and people. It relies on ecological processes, biodiversity and cycles adapted to local conditions, rather than the use of inputs with adverse effects. Organic agriculture combines tradition, innovations and science to benefit the shared environment and promote fair relationships and good quality of life for all involved”

කාබනික වගාව පසෙහි සෞඛ්‍යය පාරිසරික පද්ධති සහ මිනිස් වර්ගයා තිරසාරව පවත්වාගෙන යා හැකි නිෂ්පාදන දාමයකි.එය පදනම් වන්නේ පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය සහ ස්වාභාවික චක්‍රයන් මතය. අහිතකර බලපෑම ඇති කරන්නාවූ විවිධ යෙදවුම් වලට වඩා කාබනික ගොවතැන පාරම්පරිකත්වය, නව සොයාගැනීම් සහ විද්‍යාව පරිසරයේ වාසිය සඳහා යොදා ගනීග එමෙන්ම යහපත් සහ සම්බන්ධතාවයන් සහ එහි ඇලී ගැලී ඇති අයට ගුණාත්මක දිවියක් ලබා දෙයි.

කාබනික ගොවිතැනෙහි අවශ්‍යතාවය

පසුගිය දශක ගණනාවන්හිදී කෘෂි නිෂ්පාදනයේ අති විශාල වැඩි දියුණු වීමක් ඇති වීමට නව දැනුම, යන්ත්‍රෝපකරණ, රසායන ද්‍රව්‍ය, ජීව විද්‍යාත්මක උපකරණ, කර්මාන්ත, සැකසුම් ක්‍රම ආදිය බොහෝ දුරට ඉවහල් විය. එමෙන්ම මෙම ක්‍රියාවලිය තුළදී එකතු වූ සහ පෙනෙන්නට පටන් ගන්නා වූ අවාසිදායක තත්ත්වයන්ද බොහෝ ය. මෙම අවාසීන් වඩාත්ම පෙන්නුම් කරන්නට වූයේ එම ක්‍රම මගින් පස සහ ජලය කෘෂි බෝග වගාවන්ට යොදා ගන්නට වූ අවස්ථාවන් වලය. එසමගින් පසට හා ජලයට මුසු වුනා වූ රසායනයන් නිසාද අවාසි වූ අවස්ථා අප්‍රමාණය. සැකෙවින් දක්වතොත් එම අවාසි පහත දක්වන අයුරුය.

1. පරිසරය රසායනිකව දූෂණය වීම
2. ආහාර වලට විෂ රසායන සම්මිශ්‍රණය වීම
3. පාංශු සරු බවෙහි තිරසාර බව කෙමෙන් අඩු වීම
4. මිනිසාගේ හා සතුන්ගේ සනීපාරක්‍ෂක ජීවිතයට බලපෑම් ඇතිවීම
5. අධි ප්‍රමාණ වලින් ඒක දිශානත පොහොර හා කෘෂි රසායන උපයෝගිත්වයෙන් පාරිසරික තුලිත තාවයන් නැති වීම

පරිසර පද්ධතිවලට සහ මිනිසාට ඇතිවූ ඉහත පෙන්වා දුන් හානිදායක තත්ත්ව අවම කර ගැනීමට හා දිගු කාලීනව නැති කර ගැනීමට කාබනික ගොවිතැන අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් යැයි හඳුනාගෙන ඇත. උත්සාහය වන්නේ පරිසරයට හානිදායක නොවන සොබාදහමෙහි සිදුවන පස, පැල, සත්ව සහ සමස්ථ පරිසරය අතර වන සහසම්බන්ධතාවයන් යම් පමණකට හෝ නැවත ගොඩ නගා ගැනීමයි. ස්වභාවික පරිසර චක්‍ර නැවත උත්තේජනය කිරීම ඒවාට පීඩන එල්ල කරනවාට වඩා යහපත් බව විශේෂයෙන්ම පරිසර දූෂණය හා මිනිසාගේ සනීපාරක්‍ෂාව සම්බන්ධව අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන ඇත.

මෙම අවශ්‍යතාවය දිනෙන් දින වැඩි වෙමින් පවතී. එම වැඩිවන ඉල්ලූමට පිළිතුරක් කාබනික ගොවිතැනෙන් ලැබෙන බව පෙනී යන්නේ එහි ප්‍රමාණාත්මක ව්‍යාප්තිය දෙස බැලූ විටය. කාබනික නිපැයුම් පරිභෝජනය කරන්නන්ගේ අතිශය වැඩි වීම දෙස නෙත් යොමා බැලූ විටය. මෙය ගෝලීය තත්ත්වයක් වී හමාරය. මෙම අවශ්‍යතාවය මෙසේ සපුරා ලීම තරඟකාරී, ආර්ථික වාසි දායක, පරිසර සුරක්‍ෂිත බෝග වගා ක්‍රමයක් ලෙසද තහවුරු වී ඇත. වගා කරුවන් නැවත මේ වෙත යොමු වීම එහෙයින් වාසිදායක බව පෙනී ගොස් ඇත.

පාරිසරික අවශ්‍යතා

ගතානුගතික කෘෂි වගාව නන් ආකාර වූ පරිසර දූෂණයන්ට වගකිව යුත්ත බව පෙන්වා දීමට කරුණු කාරණා සහ සාක්‍ෂි බොහෝය. මෙහිදී කෘත්‍රිම කෘෂි රසායන ද්‍රව්‍යයන් අසීමිත ලෙස මුසු කර ගැනීමට සමාන්තරව පසට කාබනික ද්‍රව්‍යයන් එකතු කිරීමේ ප්‍රවණතාවයන් ගිලිහී යාම කණගාටු දායකය. ඒ නිසාවෙන්ම පස, ජලය සහ ආහාර දූෂිත වීමේ මාර්ගය විවෘතව ඇත. බොන ජලයේ නයිට්‍රේට දූෂණය, මතුපිට ජල සංචිත වල සුපෝෂණය, ආහාර වල බැර ලෝහ හා පලිබෝධ නාශක විෂ තත්ත්වයන්ගෙන් තිබීම, යනාදිය සිදු වුනේද, සිදු වෙමින් පවතින්නේද නුසුදුසු ලෙස, නුසුදුසු ප්‍රමාණවලින්, නුසුදුසු අවස්ථාවන්හීදි කෘෂි රසායනයන්ගේ භාවිතය නිසාමය. මෙම තත්වයන් යටතේ ස්වාභාවිකව පසෙහි ඇති ජීවී සමූහයන්ට සහ ගහණයන්ට සිදුවී ඇති වින්නැහිය අවබෝධ කර නොගත හැකි මට්ටමටම අවාසි දායකය. බොහෝ වශයෙන් සිටිය යුතු හිතකර ජීවින් අද පසට ආයුබෝවන් කියා හමාරය.

අවසානයේදී පරිසර තුලිත තත්ත්වයන් බරපතල ලෙස බිඳී ගොස් ඇත. එමෙන්ම ප්‍රතිඵලයක් ලෙස පස භෞතිකව, රසායනිකව හා ජීවීව හායනයන්ට/අවප්‍රමාණයන්ට පත්ව ඇත. සමහර පස් නැවත යථා තත්ත්වයන්ට පත්කර ගැනීමට දැඩි වෙහෙසක් දරන්නට සිදුව ඇත. සමස්ථ තිරසාර බව මේ මගින් ප්‍රශ්න කිරීමට භාජනය වී ඇත. මේ සියල්ල දන්නා බොහෝ අය පරිසර රැකුමේ අගය ගැන මිනිසා දැනුවත් කිරීමට උත්සහ ගනිමින් සිටී. හොඳ උදාහරණයකි 1962 ලියා ප්‍රසිද්ධියට පත්කළ රැචල් කාර්සන්ගේ “Silent Spring” නම් වූ පොත. එය සිංහලයටද පරිවර්ථනය වී ඇත, ”නිසල වසන්තය” නමින්. මෙවන් මග පෙන්වීම් නිසා ලොව පුරා පාරිසරික සංවිධාන බිහි වීමේ ප්‍රවණතාවයන් ඉතා තදින් මතුව ඇත. බොහෝ පාරිසරික සංවිධාන අනාගතයට පිළිතුරු ලෙස පෙන්වා දෙන්නේ කාබනික ගොවිතැනෙහි උචිත බවයි.

එම උචිත බව ජෛව විවිධත්වය තුලිත කිරීම, කෘත්‍රිම කෘෂි රසායනයන්ගෙන් ඉවත්වීම, සෞඛ්‍ය ආරක්‍ෂක ආහාර අනුභවයට ගැනීම, පසෙහි තිරසාර සරු බවෙහි වැදගත්කම අවබෝධ කර දීම, ඉන්ධන දහනය අඩු කර ගැනීමට යත්න දැරීම ආදිය තුලින් මනාව ගම්‍ය වෙයි. එමෙන්ම ගෝලීය උෂ්ණත්වය වැඩි වීමට එරෙහිව කාබනික ගොවිතැනට යමක් කරන්නට පුළුවන, වැඩිපුර කාබන් පසෙහි කාබනික ද්‍රව්‍යයන් ලෙස රඳවා තබා ගනිමින්. මෙය වාතයේ කාබන් ඩයොක්සයිඞ් සාන්ද්‍රණය අඩු වීම සඳහා පිටුවහලක්ද වෙයි, මද ප්‍රමාණයෙන් වුවද. මෙයට අමතරව කාබනික ආහාර මද වශයෙන් හෝ අනෙක් ආහාරයන්ට වඩා පෝෂ්‍යදායක, ආරක්‍ෂා සහිත සහ රසවත් බව සඳහන් වෙයි.

සමස්ථයක් ලෙස ගත් කල සනීපාරක්‍ෂක ආහාර නිපයෙනු ඇත, සෞඛ්‍ය සම්පන්න පුරවැසියන් ඇති කරමින්.

ආර්ථික අවශ්‍යතා

කාබනික ගොවිතැනේ දී ද වගා කරුවා තම ජීවිකාව කරදරයක් නැතිව පවත්වාගෙන යා යුතු හෙයින් පහත සඳහන් ආර්ථික කරුණු කාරණා ගැන මනා අවධානය යොමු වී ඇත. විශේෂිත හේතුව වන්නේ ගතානුගතික ගොවි තැනෙහි ආදායම අධික යයි පෙන්වා ඇති නිසාය. වගා කරුවා උත්සහ ගත යුතුය,

  1. සතුටුදායක විය හැකි නමුත් ස්ථාවර අස්වැන්නක් ලැබීමට

  2. යෙදවුම් සඳහා වන විය පැහැදම් අඩුකර ගැනීමට සහ  ඒ සඳහා බාහිර යෙදවුම් අවම කර ගැනීමට

  3. බෝග විවිධාංගීකරණය මගින් ආරක්‍ෂිත වූ ආදායමක් ලබා ගැනීමට

  4. ගොවි පලෙහිදීම නිපැයුම් වල ගුණාත්මය වැඩි කර ගැනීමට සහ ඒවාට අගය එකතු කර ගැනීමට

  5. තරඟකාරීව සිටීම සඳහා ඉතා කාර්යක්‍ෂම ක්‍රියාවලියක් කිරීමට

  6. තම ගොවිපලෙහි ඇති සියළු ද්‍රව්‍ය කාර්යක්‍ෂම ලෙස ප්‍රයෝජනයට ගැනීමට හා නැවත නැවත ප්‍රයෝජනයට ගැනීමට

  7. සමාජ සාධාරණත්වයට ඉහල තැනක් දෙමින් සාධාරණ වෙළඳාමක් කිරීමට

 

සෞඛ්‍ය සහ සනීපාරක්‍ෂක අවශ්‍යතා

විශේෂිත කාරණා දෙකක් නිසා සෞඛ්‍ය හා සනීපාරක්‍ෂක අවශ්‍යතා කාබනික ගොවිතැනෙහිදී ඉහලම ස්ථානයක තබා ඇත. ඉන් එකක් තම පවුලේ අයගේ සහ නිපැයුම් පරිභෝජනය කරන්නන්ගේ ආරක්‍ෂිත වූ පෝෂණයයි. අනෙක ඉතා හොඳ අනතුරුදායක නොවන්නාවූ වැඩ කරන පරිසරයක් ඇති කර ගැනීමයි. මෙය නිපැයුම් දාමයේ ඉන්නා මිනිසුන්, ගැහැණුන්, දරුවන් ආදීන්ට අදාළය.

මෙම තත්ත්වයන් අද පවතින නූතන කාබනික ගොවිතැනෙහි අඩුවක් නැතිව ලඟාකර ගත හැකි වන්නේ IFOAM විසින් සපයා ඇති සාමාන්‍ය සහ විශේෂිත මග පෙන්වීම් වලට අනුගතව වැඩ කරමන් තමා අනුගතව ඇතිදැයි සහතික කරන්නෙකු මාර්ගයෙන් ඇගයීමක් කර සහතිකයක් ලබා ගැනීමෙනි. පාරිභෝගිකයා කොහේ සිටියත් වගා කරුවා තම නිපැයුම් සත්‍ය වශයෙන්ම කාබනික බව පෙන්නුම් කිරීමට සෞඛ්‍ය හා සනීපාරක්‍ෂක අවශ්‍යතාවයකි. IFOAM මග පෙන්වීම් “IFOAM Basic Guidelines” ලෙස නිකුත් කර ඇති අතර ඒ පිළිබඳ වැඩි විස්තර “IFOAM MANUAL FOR ORGANIC AGRICULTURE” කොටස කියවා අවබෝධ කර ගන්නට පුළුවන. සියළු අවශ්‍ය ක්‍රියා මාර්ග එහි පෙන්වා දී ඇත.

මූලධර්මයන්ගේ පසුබිම

කාබනික ගොවිතැන හා වෙළඳාම් නිපැයුම් සකස් කිරීම යම් ප්‍රමාණයක මූලධර්මයන් සහ අදහස් සමූහයක් මත පදනම්ව ඇත. මෙම මූලධර්මයන් සමස්ථ ගොවිතැන් ක්‍රමයන් නිරූපනය කරනවා ඇත, එක් දෙයක් ගැන පමණක් නොසිතා. බොහෝ විට ගතානුගතික කෘෂි කලාවේ මධ්‍යස්ථ ගත ඉලක්කය වැඩි ලාභය පමණි. කාබනික ගොවිතැනේදී එය එසේ නොවෙයි. මෙම මූලධර්මයන් සහ අදහස් සමුදාය පහත දී ඇති අයුරු කැටි කොට දක්වන්නට පුළුවන.

  1. ස්වාභාවික පරිසර පද්ධතීන් මග පෙන්වන්නාවූ ආදර්ශනයක් ලෙස ගැනීම

  2. මෙම ක්‍රමය නූතන ක්‍රමයක් ලෙස අවබෝධ කොටගත යුතුය, නැවත අතීතයට අඩි කිහිපයක් තැබූ ක්‍රමයක් යැයි නොසිතා

පරිසරික සමතුලිතතාවය සහ තිරසාර බව

කාබනික වගා කරුවා ස්වාභාවික පරිසරය හා එහි චක්‍රයන් සමග ගැටිය යුත්තේ ජීව ගුණය වැඩි වන ආකාරයට ඉතාම පරීක්‍ෂාකාරීවය. තම ගොවිපල තුළ ඇති ජීවීන්ට සහ ඔවුන්ගේ ජීවන චක්‍ර වලට අනිසි බලපෑම් නොවන අයුරින් වැඩ කටයුතු කළ යුතුය. ජීව ගහණයට මහා ජීවීන්, ක්‍ෂුද්‍ර ජීවීන්, පාංශු ශාඛ ගහණයට අයත් කොටස්, බෝග සහ ඒකාබද්ධ කර ගත්තාවූ ගොවිපල සතුන් ඇතුළත්ය. ප්‍රශස්තම තුලිත තාවය මගින් ඉතා හොඳ තිරසාර බවක් ළඟා කර ගන්නට පුළුවන විශේෂයෙන්ම පාංශු සරු බවට සම්බන්ධව. ගොවිපලෙහි ප්‍රතිචක්‍රිකරණයට ගත හැකි වන්නා වූ සියළු දෑ උපරිමයෙන් ප්‍රයෝජනයට ගත යුතුය. මෙවන් තුලිත ක්‍රියා වලියක් සඳහා දූෂක ද්‍රව්‍ය ඉවත් කර ගැනීමත් සුදුසු ජලය පාවිච්චි කරමින් තමන්ට ඇති කිලිටි නොවූ ජල ප්‍රභවයන් විශේෂයෙන් ආරක්‍ෂාකර ගැනීමත් වටී.

අන්තර් ග්‍රහණය කරගන්නාවූ සතුන්ට තම හැසිරීම් රටාවන් ආසන්නම ලෙස ස්වාභාවිකව පවත්වාගෙන යන්නට ඉඩ ලැබෙන ලෙස කටයුතු කිරීමද තුලිත බවෙහි කොටසක් බව අවබෝධ කර ගත යුතුය. ජාන සහ ජෛව විවිධත්වය නොපෑරෙන සේ ද අවධානයෙන් සිට වැඩ කටයුතු කිරීමට පුරුදු පුහුණු විය යුතුය. පරිසරයේ ස්වාභාවික ශාඛ සහ සත්ත්ව ගහණය ගැන අනුකම්පා සහගත විය යුතුය.

මීට අමතරව පාරම්පරිකව කරගෙන ආ ක්‍රියාවලියන් සම්මිශ්‍රණය කර ගැනීම මගින්ද පරිසර තුලිත පැත්තට වගා කරුවා ඇදෙනු ඇත. පාරම්පරික ශාඛ හා සත්ත්ව ප්‍රභේද රැක ගැනීමද වැදගත්ය. තුලිත බවට තවත් වැදගත් කරුණකි. වගා කරුවාට මෙන්ම ඔහු හෝ ඇය වෙනුවෙන් භෝග වගාවේ යෙදෙන්නන්ගේ පහසුව, ආශ්වාදය, සනීපාරක්‍ෂාව වැඩි වන කටයුතු ගැන අවධානය යොමු කිරීමද ඉතා වැදගත්ය, කාබනික ගොවිතැන සතුටුදායක ජීවිතයකට මග පෙන්වන්නක් නිසා. බෝග වගාවන්ට හැර ඊට නන් අයුරින් දායක කර ගන්නට හැකිවන පැලෑටි සහ ශාඛ වර්ග වගා වගා බිමේ ඇතුළත් කරගෙන ඇත්නම් තුලිත බවෙහි උපරිමය ලබා ගන්නට පුළුවන.

දූෂණය අඩු කර ගැනීම

ඕනෑම භෝග නිෂ්පාදන ක්‍රමයක් තුළ පරිසර දූෂණය වීමේ විභවයක් ඇත. විශේෂයෙන්ම කෘත්‍රිම පොහොර හා කෘත්‍රිම කෘෂි රසායන ඉවක් බවක් නැතිව යොදාගන්නා විටදී මෙසේ සිදු වෙයි. කාබනික ගොවිතැනෙහිදීද නොසලකා හැරීම් සිදුවුවහොත් සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කාබනික ද්‍රව්‍යයන් අනිසි ලෙස උපයෝගි කර ගත් විට පරිසර දූෂණයක් සිදු වන්නට පුළුවන. ගොම වැනි දෑ ජල මූලාශ්‍රයන්ට මිශ්‍ර වන්නට පුළුවන් නේද?

කෙසේ හෝ වේවා කාබනික ගොවිතැනෙහි ඇති ප්‍රබල සීමා විසින් මෙම පාරිසරික දූෂණ විභවයන් අවම තත්ත්වයකට පත්කර ගැනීමට හැකි වී තිබෙයි. විශේෂ හේතුව වන්නේ කෘත්‍රිම කෘෂි රසායන වලට කිසිසේත්ම ඉඩක් ලබා නොදීමයි. එම නිසා ඒවායේ අනිසි ප්‍රමාණ, අනුචිත වර්ග ආදිය ගැන කතා කරන්නට අවශ්‍ය නොවේ.

කාබනික ගොවි තැනෙහි පරිසර ආරක්‍ෂාකාරී වඩාත්ම විභවයක් පසට ලබා දෙනු ලබයි. කාබනික ද්‍රව්‍ය වැඩි සරු, තිරසාර පසක් සැමවිටම වැඩි දියුණු වූ රසායන, ජීව හා භෞතික පෙරන හැකියාවන් ලබයි. මෙම පෙරන හැකියාවන්ගේ වැඩි වීම නිරායාසයෙන්ම භූගත ජලය හෝ ලිං ජලයේ දූෂණය අවම කරනු ඇත. කෙසේ හෝ කාබනික ගොවි පලෙහි කාබනික අපද්‍රව්‍යයන් ජලයට මුසු වන්නට හැරියහොත් කාබනික ගොවිතැන වුවත් පරිසරය දූෂණයනට සම්මාදම් සපයයි. මෙහිදී මෙවන් දෑ විශේෂයෙන්ම ගොඩ ගසා ඇති ස්ථාන වලින් සෝදාගෙන යෑම වලක්වා ගැනීම, දුර්ගන්ධ පැතිරීම ආදිය වලක්වාලන ලෙස භාවිතයේ යොදාගැනීම යන දෑ වලට අවධානය යොමු කිරීම සුදුසුය.

මෙයට අමතරව තම කාබනික ගොවිපල සහතික ලබා ගත් එකක් හෝ ලබා ගන්නට බලාපොරොත්තුවෙන් සිටින්නාවූ එකක් නම් තමාගේ අසල්වැසි ගොවිපල වලින් මිශ්‍ර විය හැකි වන්නාවූ පරිසර දූෂණයට හා තම ගොවිපලට බලපාන්නාවූ දෑ වලින් වෙන් කර තබා ගන්නට උත්සාහ කිරීම අත්‍යාවශ්‍යය. දූෂිත ජලය තම වගාවට යොදා නොගත යුතුය. එනිසා පරිබාහිර ජල ප්‍රභවයන්ගේ ගුණාත්මය ගැන නිති විමසිල්ලෙන් සිටිය යුතුය.

 

ජෛව විවිධත්වය දියුණු කිරීම

මෙය කාබනික ගොවිතැනට අත්‍යවශ්‍ය මූල ධර්මයකි. පාරිසරික තුලිත තාවය ලඟා කර ගැනීමට මෙය මහත් සේ ඉවහල් වේ. එනිසා නිතර තම ගොවිපලෙහි නොයෙක් කොටස් වලට විවිධ වර්ගයේ බෝග, පැලෑටි, පඳුරු, ශාඛා ආදිය හඳුන්වා දීම වටී. එමෙන්ම තණ බිම් කොටස්, ජීව වැටි, පන් වර්ග, පලතුරු වර්ග, බෙහෙත් පැලෑටි වර්ග ආදිය යෙදීමෙන් ජෛව විවිධත්වය දියුණු වෙයි. කුඩා කැලෑ මන්ඩියක් ඇතිකර ගැනීමට හැකි නම් එයද වැදගත්ය. කිසිම වගාවක් නොකොට සොබා දහමට ඉඩ හැරි මුඩු ඉඩම් කොටස් ඉතිරි කිරීමද ජෛව විවිධත්වය දියුණුවට ඉවහල් වෙයි. මෙවිට විවිධ වර්ගයේ සත්ත්ව වර්ගද ගොවි පොලෙහි සෙවන ලබනු ඇත.

 

ජෛව විවිධත්වය වැඩි කර ගැනීමේදී ගොවිපල ආශ්‍රිතව ඇති දිය කඩිති, පඳුරු, ජල උල්පත්, කාණු ආදියේ මනා කළමනාකරණයද සැම විටම නොසිතන ලෙස අත්වැලක් සපයනු ඇත. එනිසා ජෛව විවිධත්වය ගැන අවධානය යොමු කරන විට ජලය, පස, වාතය ආදී සියල්ලන් වෙත අවධානය යොමු කිරීමෙන් නිසි දෑ කිරීමට මනා අවකාශයක් ලැබෙනු ඇත. සමස්ථයක් ලෙස ගත් කල සුදුසු සහ උචිත ඉඩම් පරිහරණ රටාවන් සකසා ගැනීම කාබනික ගොවිපලක ගුණය හා වටිනාකම උපරිමයක් දක්වා ඉහල දමා ගන්නට පුළුවන. මෙම ඉඩම් පරිහරණ රටාවට අවශ්‍යයෙන්ම ප්‍රදේශයට ආවේනික වූ පැලෑටි හා සත්ත්ව ගහණයන් වෙත  වැඩිපුර අවධානයක් යොමු කළ යුතුය.

පාරම්පරික දැනුම මුසු කිරීම

පරම්පරා ගණනාවක් හරහා ඉතා සාර්ථකව පැමිණ ඇති ගොවිතැන් අත්වැල් කාබනික ගොවිපලකට මුසු කර ගැනීම අතිශයින් ආශ්වාද ජනක ලාභදායී හා පරිසර හිතකාමී වනු ඇත, පැරැණ්නන්ගේ ක්‍රම නිබඳව පරිසර සංරක්‍ෂණය කේන්ද්‍ර කොට ගෙන ඇති නිසාවෙන්. විද්‍යානුකූලව සියයට සියයක් ඔප්පු කර පෙන්වන්නට නොහැකි වුවත් ප්‍රථිඵල වල සාර්ථකත්වයන් අත්විඳින්නට හැකිවන නිසා මේවා මුසු කර ගැන්ම වැදගත්ය.

එමෙන්ම බෝග වගාව ගැන සලකා බැලීමේදී පාරම්පරික ප්‍රභේදයන් බොහෝය. ඒවා වඩාත් පරිසර තුලිත බවක් පෙන්වන හෙයින් තම ගොවිපලටද මිශ්‍ර කර ගැනීම අගය වැඩි වීමක් වනු ඇත. මෙහිදී ඉහල අස්වැන්නක් බලාපොරොත්තු වීමම ඉලක්කය නොවේ. මේවා සොබා දහම් තේරීම් වලට භාජනය වී නිරුපද්‍රිතව වැඩෙන නිසා බොහෝ ව්‍යාධියන්ට ප්‍රතිශක්තියක්ද පෙන්වයි. මෙම මුසු කිරීම් වලදී ආගමික, සංස්කෘතික හා වෙනත් කෙම් වැනි ක්‍රියාකාරකම්ද අදාලය. පැලෑටි වර්ග තෝරා ගැනීමේදී පලිබෝධයින්ට අහිතකර, පාංශු සරු බව වැඩි කරන, බෙහෙත් වර්ග සපයන, වල් පැලෑටි යටපත් කරන, පොහොර ගතිය වැඩි කරන ආදී වශයෙන් වන පැලෑටි වර්ග තෝරා ගෙන එක්තරා පිළිවෙලකට ගොවිපල තුළ ස්ථානගත කිරීම කාබනික ගොවිතැන තවත් පොහොසත් කෙරෙයි.

යෙදවුම් ප්‍රතිචක්‍රීකරණය සහ ප්‍රතිභාවිතය

යෙදවුම් නැවත භාවිතයේදී හා ප්‍රතිචක්‍රීකරණයේදී වඩාත්ම එල්ල කර ගනුයේ පැලෑටි පෝෂණය හා පාංශු සරු බවට අදාල සංරක්‍ෂණ ක්‍රියාවලියන්ය. ගොවිපලෙහි බිහිවන නොයෙක් කාබනික ද්‍රව්‍යයන් ඇත. ඒවා කොල වර්ග, වියලි කොල රොඩු, සත්ත්ව මූත‍්‍රා හා වසුරු, අස්වනු අපද්‍රව්‍ය ආදියයි. මේවා පෝෂකයන්ගෙන් ගහණය. පාංශු සරු බව වැඩි කරන විභවයක් සහිතය. මේවා කාබනික ගොවිපලක පොහොරයි. මේවා පසේ දිරා යනවිට පසෙහි පෝෂක පමණක් නොව හියුමස් නම් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයද ගොඩ නැගෙයි. කාබනික ගොවියා බොහෝ විට හියුමස් මානසිකත්වයෙන් සිටිය යුතුය.

මෙම කාබනික ද්‍රව්‍යයන් කෙලින්ම හෝ කොම්පෝස්ට් බවට හරවා භාවිතයට ගන්නට පුළුවන. ඊට අමතරව මේවායෙන් ජලය සමග මුසු කොට නොයෙක් සාර ලබාගෙන ඒවා පැලෑටි පෝෂක ලෙසත්, සමහර විට හෝමෝන ලෙසත් යොදා ගන්නට පුළුවන. මේවා ගැන විස්තරාත්මක අදහස් "පොහොර භාවිතය" කොටසේ ඉදිරිපත් කර ඇත.

සෞඛ්‍යමය ආහාර හා ජලය

කාබනික ගොවිතැනෙහි නිපැයුම් ආහාරයට විෂ නොවන බව පෙර පරිච්ඡේද වල නිතර නිතර ලියැවී ඇත, ඒවා එම තැන් වලටද අදාල නිසා. සෞඛ්‍යමය ජලය පවත්වාගෙන යාමටද ඉවහල් වන අයුරු එසේම විස්තර කෙරී ඇත. එහෙයින් පරිපූර්ණත්වය සඳහා කොටසක් ලෙස මෙහි සඳහන් නැති දේ පිළිබඳ දැනුම අනෙක් කොටස් වලදී ලබා ගත යුතුය.

 

ප්‍රධාන අවශ්‍යතාවයන්

නවීන කාබනික ගොවිපලක් පවත්වාගෙන යාමේදී ප්‍රධාන වූ හා අත්‍යාවශ්‍ය වූ කරුණු කාරණා කිහිපයක් සපුරා ගත යුතුය. මෙසේ කළ යුත්තේ නිපැයුම් වල අවසන් පාරිභෝගිකයා ලොව කොතැනක සිටියත් රැවටීමකට ලක් නොකොට තබා ගන්නටය. මෙනිසා පාරිභෝගිකයාට සහතිකයක් අත්‍යාවශ්‍ය වනු ඇත, විශේෂයෙන්ම අදවන් ගෝලීය විවෘත වෙලඳ පොලක් ඇති අවධියක. මෙම හේතුව මතම පැරණි කාබනික ගොවිතැනත් නූතන කාබනික ගොවිතැනත් සංකීර්ණ ලෙස එකිනෙකට වෙනස් වෙයි.

අද පවතින ගෝලීය අවශ්‍යතාවය වන්නේ IFOAM මූලික මග පෙන්වීම් වලට අනුගත වීමයි. අන් අය හෝ පාරිභෝගිකයන් සහතිකයක් මගින් ඒත්තු ගන්වන්නට වී ඇති බව සමහරුන්ට හිතට මදි වන්නටත් පුළුවන. අවංක කම ලිය කියවිලි වලින් ඔප්පු කළ යුතු කාලයකි මේ. අන්‍යෝන්‍ය විශ්වාසය ප්‍රමාණවත් නොවේ, විශේෂයෙන්ම නිපැයෙන තැනත් පරිභෝජනය කෙරෙන තැනත් කිලෝ මීටර් දහස් ගනනින් වෙන්ව ඇති වීමට හැකි නිසාවෙන්. එහෙයින් ප්‍රධාන අවශ්‍යතාවයන් පිළිබඳ සටහන් මින් ඉදිරියට කියවන්නට ලැබෙනු ඇත. කාබනික වගා කරුවා මේවා දැනගත යුතුමය. නැතිනම් තම නිපැයුම වෙළඳ පොලට එන විට පසු තැවිලි වන්නටද සිදුවිය හැකිය. වෙළඳ පොලට එන්නට අදහසක් නැත්නම් එය වෙනම කාරණයකි.

කාබනික ගොවිතැනට සංක්‍රාන්තිය

අද බොහෝ ඉඩකඩම් ගතානුගතික බෝග වගා ක්‍රමයන්ට යටත්ව ඇති නිසා සැම පසක්ම වාගේ යම් ප්‍රමාණයකට කාබනික ගොවිතැනට සුදුසු නොවන පරිදි දූෂණයව ඇතැයි පිළිගෙන තිබෙයි. එම නිසා අදින් හෙටට ඉඩමක නිපැයුම් කාබනික ලෙස පිළිගන්නට කිසිවෙක් සූදානම් නැත. පරණ ක්‍රමයේ ඉතිරි වූ අනවශ්‍ය දෑ කෙමෙන් කෙමෙන් අඩු වන නිසා කාබනික ගොවිතැනට සම්ප්‍රාප්ත වීමට යම් කලක් ගතවෙයි. මෙම කාලය සංක්‍රාන්ති කාලයක් ලෙස හඳුනා ගන්නට පුළුවන. කෙසේ හෝ වේවා තම ඉඩම මින් පෙර පරම්පරාගත ක්‍රම වලට භෝග වගාව සඳහා යොදාගෙන තිබුනේ නම් මෙවැනි සංක්‍රාන්ති කාලයක් අවශ්‍ය නොවේ. එසේත් නැත්නම් සංක්‍රාන්ති කාලය කෙටි කර ගන්නට පුළුවන. කාබනික ගොවිපලක් සඳහා ස්වාභාවික කැලයක් එලි පෙහෙලි කිරීම කෙසේවත් නොකළ යුතුය. සංක්‍රාන්ති කාලය යන්නෙන් ඇත්ත වශයෙන්ම අදහස් කරනුයේ කාබනික ගොවිතැන පටන් ගත් තැන් සිට කාබනික ගොවිතැන් සහතික පත්‍රය ලබා ගන්නා දින දක්වා ඇති කාල පරාසයයි. මෙම සහතිකය අනුමත කළ පිළිගත් ආයතනයකින් ලබාගත යුතු බව අවබෝධ කර ගත යුතුය.

ගොවිපලක කාබනික සංක්‍රාන්තිය සම්පූර්ණ ගොවිපලට හෝ කොටස් වශයෙන් කරන්නට පුළුවන. කෙසේ හෝ වේවා, කාබනික ගොවිතැනට සම්ප්‍රාප්ත වන්නට උත්සාහ කරන වගා කරුවා පහත සඳහන් කරුණු කාරණා අකුරටම ඉටු කළ යුතුය, කොතරම් අපහසු හා සංකීර්ණ වුවත්.

  1. තත්ත්ව පරීක්‍ෂණයට අවශ්‍ය සියළු අංග ඇතුළත් සංක්‍රාන්ති සැලසුමක් තිබිය යුතුය

  2. මෙම සැලසුමෙහි ඉඩමට අදාල ඉතිහාසය, දැනට ඇති තත්ත්වය හෝ දැනට කරගෙන යන කටයුතු, සංක්‍රාන්තියට බලාපොරොත්තු වන කාලය සහ වෙනස් කර ගැනීමට අදහස් කරන කෘෂි වගා ක්‍රියාවලියන් දැක්විය යුතුය

  3. තම කාබනික ගොවිපල අන් අසල්වැසි ගොවිපලවලින් හානිදායක නොවන ලෙස සැකසූ භෞතික මායිම් සැකැස්මක් තිබිය යුතුය

  4. ගොවිපල ගනන් තැබීම් හා ක්‍රියාවන් වාර්තාගත කොට තැබීමට මනා සැලසුමක් තිබිය යුතු අතර බලාපොරොත්තු වන ගොවිපලෙහි සමාන්තරව දුවන වෙනත් කෘෂි වගා ක්‍රම ඇතුළත් කර නොගත යුතුය

  5. ගොවිපලට යොදාගන්නා කොටසෙහි වගා ක්‍රියාකාරකම් කන්නයෙන් කන්නයට අදාල නොවන්නාවූ ක්‍රියාවලියන්ට මාරු නොකළ යුතුය

පාංශු සරු බව කළමනාකරණය

පසක සරු බව පිළිබඳ පොදු අදහස් සහ විද්‍යානුකූල අවබෝධයන් "පසක විභවයන් " කොටසෙහි දක්වා ඇත. එහෙයින් මෙහිදී උත්සාහ කරනුයේ කාබනික ගොවිතැන් කරුවෙකු විසින් එය හසුරවා ගන්නට කළයුතු සහ අනුගමනය කළ යුතු කාර්යයන් සැකෙවින් හඳුන්වා දීමය. කාබනික ගොවිතැනෙහි මධ්‍යගතම අභිප්‍රාය පසෙහි සරුබව වර්ධනය කරගෙන, ස්ථායිතාවය පවත්වාගෙන යමින් වගා පද්ධතියේ තිරසාර බව රැක ගැනීමයි. පසක සරු බව නොයෙක් සාධක මත යැපෙන බව ඔබ දැනටමත් දනී. එනිසා හොඳ සරු බවකට අවශ්‍ය කාරණා උත්තේජනය වන අයුරින් කෙරෙන කටයුතු වඩාත් සුදුසු වන බව නිරායාසයෙන් පැහැදිලි වනු ඇත. මේවා ඇත්ත වශයෙන්ම සෑහෙන දුරකට වගා කරුවාට කළමනාකරණය කර ගන්නට පුළුවන.

කෙසේ හෝ වේවා සරු බව කළමනාකරණයේදී විවිධ වර්ගයේ පැලෑටි වලට වෙනස් අවශ්‍යතා ඇති බව වටහා ගැනීම වටී. මින් අදහස් වනුයේ පසෙහි ගතිගුණ අනුව බෝගය තෝරා ගැනීම සුදුසු බවයි. මේ ගැන විස්තර "පැලෑටිවල අව්‍යශතා" කොටසේ අන්තර්ගත කොට ඇත. එසේ නම් කාබනික ගොවිතැනෙහිදී වගාකරුවා පහත සඳහන් දෑ ගැන අවධානයෙන් යුතුව වැඩ කටයුතු කිරීමෙන් පසේ සරු බව වැඩි කර ගන්නටත් පවත්වාගන්නටත් සමත් වනු ඇත.

  1. පස තද බල හිරු එලියට සහ තදබල වර්ෂාපතනයන්ටද නිරාවරණය වන්නට නොහැරීම. මෙය සුදුසු ලෙස භෝගයන් මගින්ද, කොල රොඩු, අමු කොල ආස්තරයක් මගින්ද, ආස්තරණ පැලෑටි වර්ග වැවෙන්නට හැරීමෙන්ද ළඟා කර ගන්නට පුළුවන. පස මෙසේ ආවරණය වී තිබීමෙන් නිරායාසයෙන්ම පාංශු ඛාදනය සිදු නොවන අතර මනා ජල සංරක්‍ෂණයක්ද සිදු වෙයි.

  2. තුලිත වූ භෝග මාරු ක්‍රම හා මිශ්‍ර භෝග වගාව සිදු කිරීම. මෙය තුලින් කන්නයෙන් කන්නයට හා කන්නයක් තුළ සිදුවිය හැකි අසමතුලිත තාවයන් අවම කර ගැනීමෙන් පාංශු සරු බවෙහි තිරසාර බවති රැක ගන්නට පුළුවන. මේ සඳහා උපයෝගී කර ගත යුතු වන්නාවූ ක්‍රම සහ විධි "වගා පද්ධති" ගැන පරිච්ඡේදයේ දක්වා ඇත.

  3. පස තද වීම හා පාංශු ඛාදනයට මග නොපෑදෙන අයුරින් බිම් සැකසීම් ක්‍රම තෝරා ගැනීම. මෙහිදී අවම බිම් සැකසුම් තාක්‍ෂණයක් යොදා ගැනීම කළ යුතුමය.

  4. මනා පෝෂක සැපයීමක් හා සංචිතයන් ඇතිවන ලෙස පිළිවෙලින් තත්ත්ව ඇති කිරීම සහ පොහොර සැපයීම. පෝෂක සැපයිම තුලිත විය යුතු අතර තත්ත්ව ඇති කිරීම දිගු කාලින පෝෂක සුලභතාවය ළඟා කර ගැනීමට ඉවහල් විය යුතුය. පොහොර පිළිබඳ දිගු විස්තර "පොහොර භාවිතය" පරිච්ඡේදය කියවා දැන ගන්නට පුළුවන. එම කොටසේ ඇති කාබනික පොහොර වර්ග ගැන දැනුම මෙම කොටසටද මැනවින් අදාළ වෙයි.

  5. මනා ජල සැපයුමක් ඇතිවන පරිදි සහ මනා වාතාශ්‍රයක් ඇතිවන පරිදි පස බුරුල් කිරීම තුලින් හා ජලය යෙදීම හා අපවහනය මගින් පැලෑටි වර්ග වලට අවශ්‍ය තත්ත්වයන් පවත්වාගෙන යාම. ජල පාලන තාක්‍ෂණයන් වඩාත් හොඳින් "හොඳින් ජල පාලනය" පරිච්ඡේදයේ විස්තර කරනු ලැබ ඇත.

පාංශු සරු බව කාබනික ද්‍රව්‍ය වලින් සිදුවන බව ප්‍රකාශ කළ නමුත් එය එසේ සිදුවන්නේ කෙසේ දැයි අවබෝධ කර ගැනීම උචිතය. වඩාත්ම වැදගත් කරුණක් වන්නේ පසෙහි කාබනික ද්‍රව්‍ය වලට පස තුළ කළ හැකි දේ විවිධාකාර වීමයි. යූරියා පොහොර මගින් නයිට්‍රජන් පමණක් සපයනවා මෙන් නොවේ. එහෙයින් කාබනික ද්‍රව්‍ය වල පොහොර ගතියද අනෙක් පාංශු තත්ත්ව උසස් කරන ගතියද යන ගති දෙකම එකට ගැබ් වී ඇත.

පසකට කාබනික ද්‍රව්‍ය එකතු කළ විට ඒවා දිරා පත්වී බොහෝ විට ව්‍යුහයන් හඳුනාගත නොහැකි තත්ත්ව බවට හැරෙයි. මේවා තද දුඹුරු හෝ කළු වන අතර මේ අතරින් කොටසක් සුදුසු තත්ත්ව යටතේ පසක සරු බවට ඉතාම වැදගත් වන්නාවූ හියුමස් නම් ද්‍රව්‍යද සෑදෙයි. පාංශු කාබනික ද්‍රව්‍යයන්ගේ මෙහෙය පහත අයුරින් ලැයිස්තු ගත කරන්නට පුළුවන.

  1. ඉතා සුදුසු වන්නාවූ පාංශු ව්‍යුහයන් ඇති කරයි, වියෝජනයේදී ඇතිවන බොහෝ සංයෝග සෑදෙන නිසා සහ සිමෙන්ති මෙන් බන්ධන හැකියාව ඇති නිසා.

  2. එකතු කරන කුඩා වූ කාබනික ද්‍රව්‍යයන්ට තම බර ප්‍රමාණය මෙන් වාර ගණනක් ජලය උරා රඳවා ගන්නට පුළුවන. මෙවන් තත්ත්ව විශේෂයෙන්ම වැලි පස් වලට උචිතය.

  3. කාබනික ද්‍රව්‍ය පාංශු ජීවින්ට ආහාරයන්ය. කාබනික ද්‍රව්‍ය වැඩි තැන වැඩි ජීවී ගහණයකුත්, වැඩි ජීවී ප්‍රභේද ගණනකුත්, වැඩි ජීව ක්‍රියාවලියනුත් ඇති වෙයි. ගැඩවිල් ගහණය, ක්‍ෂුද්‍ර ජීවී ගහණය සහ උන්ගේ ක්‍රියාවලියන් කාබනික ද්‍රව්‍ය මගින් මනාව උත්තේජනය වෙයි.

  4. හියුමස් නම් කාබනික ද්‍රව්‍ය සංඝටකයට සැලකිය යුතු ප්‍රමාණ වලින් පෝෂක අයන රඳවා ගැනීමට පුළුවන, මුල් වලට ඒවා ලබා ගැනීමට වඩාත් අවස්ථා සපයා දෙමින්. මෙනිසාම ක්‍ෂරණය මගින් පසේ ගැඹුරු ස්ථර වලට පෝෂක සේදී යාම බොහෝ දුරට වැලකෙයි.

  5. කාබනික ද්‍රව්‍ය සුලභව තිබීම පසක විය හැකි pH අගයේ ඉක්මන් වෙනස් වීම් අවම කරයි. මෙවන් පසක් මොනයම් බාහිර කාරණාවක් නිසා ආම්ලික තත්ත්වයකට හෝ භාෂ්මික තත්ත්වයකට ලෙහෙසියෙන් පාත්‍ර නොවෙයි. මින් තිරසාර බවක් ඇති වන බව පෙනෙනවා ඇත.

  6. කාබනික ද්‍රව්‍ය සහ හියුමස් අධික පසකට නිතැතින්ම ”ඉහල කැටායන හුවමාරු ධාරිතාවක්” (CEC) ඇත. කැටායන හුවමාරු ධාරිතාවය වැඩි වීම පැලෑටියකට ලබා ගැනීමට හැකිවන අයුරු වූ පෝෂක සංචිතයක් තබා ගැනීමටත්, ඒවා අවශ්‍ය විට මුල් වලට ලබා දීමටත් මනා පිටුවහලක් වෙයි.පසක විභවය ‍කොටස නැවත කියවනු වටී.


මේ ප්‍රධාන කාරණා මිස වාසි ලැයිස්තුවේ අවසානය නොවේ. ඔබද මදක් සිතන්න.

කාබනික යෙදවුම්

කාබනික ගොවිතැනෙහිදී ප්‍රයෝජනයට ගත හැකි වන්නා වූ කාබනික ද්‍රව්‍ය රාශියකි. බොහෝ විට ඒවා පොහොර වශයෙන්ද, පාංශු සකසනයන් වශයෙන්ද, කෘෂි රසායන වශයෙන්ද භාවිතය කරනු ලබයි. නමුත් සමහර ද්‍රව්‍ය වල එක් අවස්ථාවේදීම ඉහත ක්‍රියා කාරකම් තුනම අඩංගුව තිබෙන්නට පුළුවන.

පොහොර වශයෙන් ගත් කල ගොවිපල පොහොර, කොම්පෝස්ට්, කොල පොහොර, ශාඛ නිස්සාරක ද්‍රව්‍ය ආදිය ගන්නට පුළුවන. සමකාලීනව මේවායේ පාංශු සැකසුම් හැකියාවද, පලිබෝධ නාශක හැකියාවද වර්ධන පාලන හැකියාවද අන්තර්ගත විය හැකිය. මේ සියල්ලන්ම ඉතා වැදගත් කාබනික යෙදවුම්ය. මේවා සියල්ලන්ගේම සැලකියයුතු ප්‍රමාණ වලින් පැලෑටි පෝෂක ඇත. මේවා නන් අයුරින් මිශ්‍ර කිරීමෙන් හා සුසංයෝජනය කිරීමෙන් වඩාත් තුලිත පොහොර භාවිතයට මග පෑදෙනු ඇත. එමෙන්ම මේවා සියල්ල පසෙහි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කිරීමට ඉවහල් බැවින් තිරසාර සරු බවක්ද රකිනු ඇත. කාබනික පොහොර ගැන "පොහොර භාවිතය" කොටසේ විස්තර කොට ඇත.

මෙහිදී කොම්පෝස්ට් සාදා ගැනීමේ ක්‍රම ගැන ඉඟියක් ලබා ගැනීම උචිතය. කොම්පෝස්ට් සාදා ගැනීමේ ක්‍රම රාශියකි. එමෙන්ම කොම්පෝස්ට් සඳහා උපයෝගී කර ගත හැකි ද්‍රව්‍යයන්ද විවිධය. බොහෝ විට උපයෝගී කර ගන්නා ද්‍රව්‍ය වන්නේ පිදුරු වර්ග, කොල රොඩු, මුළුතැන්ගේ අපද්‍රව්‍ය, ජලජ පැලෑටි, කොහුබත්, ලී කුඩු, දහයියා (යම් තරමකට), රනිල ශාඛ කොටස්, වල් පැලෑටි, තණකොල, ගොම, එළු සහ කුකුළු වසුරු, මූත‍්‍රා, ජීව වායු ජනක අපද්‍රව්‍ය ආදියයි. මේ සියළු දෑ පරිපූර්ණ කාබනික ගොවිපලක ආයාසයකින් තොරව ලබා ගන්නට පුළුවන. සාමාන්‍යයෙන් අධි C:N අනුපාතයක් ඇති ද්‍රව්‍ය (වියලි ශාඛ කොටස්) සහ අඩු C:N අනුපාතයක් ඇති ද්‍රව්‍ය (අමු කොල වර්ග හා සත්ත්ව අපද්‍රව්‍ය) පිළිවෙලින් මිශ්‍ර කිරීම කොම්පෝස්ට් සාදා ගැනීමේ මූලධර්මයයි. කොම්පෝස්ට් මහා පරිමාණයෙන්ද (ගොඩ ක්‍රමයෙන් සහ වල ක්‍රමයෙන්) සුළු පරිමාණයෙන්ද (බැරල් ක්‍රමය, කෝටු රාමු ක්‍රමය) සාදා ගන්නට පුළුවන.

 

 

 

 

කොම්පෝස්ට් සෑදීම පිළිබඳ වැඩි විස්තර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති පත්‍රිකා මගින් ලබා ගන්නට පුළුවන.

වල් මර්ධනය

වල් පැලෑටි මර්ධනය ගැන විශේෂිත වූ විස්තරයක් "රෝග සහ පලිබෝධක" පරිච්ෙඡ්දයෙහි දක්වා ඇත. එසේ වුවත් කාබනික ගොවි තැනෙහිදී වල් මර්ධනය කළ යුතු වන්නේ වෙනස් ආකාරයකට වල් පැලෑටි දෙස අවධානය යොමු කරමිනි. සමහර අවස්ථාවල වල් පැල වර්ග පාංශු සරු බව ගැන ඉඟි සපයයි. යම් ආකාරයක භෝගය සමග තරඟකාරිත්වයක් පෙන්වන්නේ නම් පමණක් එම වල් පැල මර්ධනය කිරීම වටී. තව දුරටත් වල් පැලෑටි වලින් යහපත් දේ පහත අයුරු සිදු වන්නට පුළුවන.

  1. සමහර පැල වාසිදායක ආගන්තුක සතුන්ට සෙවන දෙයි

  2. සමහර පැල සත්ත්ව හෝ මිනිස් ආහාර වන්නට පුළුවන

  3. සමහර පැල බෙහෙත් වර්ගය

  4. සමහර පැල පාංශු අතුරණු ලෙස භාවිතයට ගන්නට පුළුවන

  5. සමහර පැල ගහණ පාංශු ඛාදනය වලක්වනු ලබයි

කෙසේ හෝ වේවා තිබෙන ස්ථානය අනුව පමණක් වල් පැලෑටි භෝගයට හානි දායක වන්නට පුළුවන. එවිට පමණක් වල් පැලෑටි මර්ධනය කිරීම කාබනික ගොවි තැනෙහිදීද සිදු කරනු ලබයි. එනිසා වල් මර්ධනයට වඩා කාබනික ගොවිපලක ප්‍රථමයෙන් උත්සාහ කළ යුත්තේ වල් පැලෑටි වලට වැවෙන්නට ඉඩ ප්‍රස්ථා නැති කිරීමයි. එහිදී වැඩිය හැකි ස්ථානය හා වැඩිය හැකි කාලය ගැන අවධානය යොමු කළ යුතුය. බොහෝ විට බෝග පාත්තියක මූලික අවධිය සංවේදී නිසා එවිට වල් පැල මතු නොවීමට පරිසරය සකස් කර ගත යුතුය. සමහර වල් පැලෑටි අස්වැන්න නෙලීමේදී ප්‍රශ්නකාරී වනුද ඇත.

කාබනික ගොවිපල වල වල් මර්ධනය සඳහා කෘෂි රසායනයන් කොහෙත්ම යොදා නොගනු ලැබෙයි. ඒ සඳහා භාවිත කරන ක්‍රම නම්

1. ආස්තරණය කිරීම
2. ජීවී ආස්තරණ ඇති කිරීම
3. භෝග මාරුව ඉවහල් කර ගැනීම
4. තුලිත පොහොර භාවිතය
5. අවම බිම් සැකසීම් ක්‍රම යොදා ගැනීම
6. ඇට සැදීමට පෙර අතින් ඉවත් කිරීම
7. වල් ඇට රහිත බීජ භාවිතය
8. වල් පැල අතින් හෝ සරල උපකරණ මගින් ඉවත් කිරීම
9. හොඳින් මේරූ කොම්පෝස්ට් භාවිතය

පලිබෝධ හා රෝග පාලනය

භෝග වලට වින කරන පලිබෝධකයින් ගොවිතැන් ක්‍රමය වෙනස් වූවාට වෙනස් වන්නේ නැත. පලිබෝධ සහ රෝග ගැන"රෝග සහ පලිබෝධක" පරිච්ඡේදයෙහි සවිස්තරාත්මකව දක්වා ඇත. පාලන ක්‍රමයන් ගැනද විස්තර කොට ඇත.

නමුත් කාබනික වගාවේදී පලිබෝධ පාලනය සඳහා කෘත්‍රිම රසායනයන් කොහෙත්ම යොදා නොගත යුතු අතර පලිබෝධ සතුන් සෑම විටම ජෛව පාලනය හෝ අතින් ඉවත් කිරීම හෝ ශාඛ නිස්සාරන භාවිතයෙන් කළ යුතුය. මේ සියල්ල ස්වාභාවික ක්‍රම ලෙස සලකන්නට පුළුවන. මෙවන් ක්‍රම අතරට පහත සඳහන් දේ අඩංගු වෙයි.

1. තෝරා බේරා ගත් ප්‍රතිරෝධී භෝග වර්ග වගා කිරීම
2. සුපිරිසිදු බීජ සහ රෝපණ ද්‍රව්‍ය තෝරා භාවිතයට ගැනීම
3. උචිත අන්නෝන්‍ය ජීව පාලනයක් ඇතිවන සේ වගා පද්ධති යෙදීම
4. තුලිත පොහොර භාවිතය උපයෝගි කර ගැනීම
5. මනා ජල පාලනයක් තුලින් උචිත තෙත බවක් තබා ගැනීම
6. ස්වාභාවික පලිබෝධ සතුරන් වන සතුන් රැක ගැනීම හා ගහණයන් වැඩි කර ගැනීම
7. මනා වගා කාලයක් හා වගා අවකාශයක් තෝරා ගැනීම
8. ලෙඩ වූ පැලෑටි තෝරා ඉවත් කිරීම
9. බීජ වර්ග ස්වාභාවික නිස්සාරණ වල දමා සකසා ගැනීම
10. ස්වාභාවික පලිබෝධ නාශක ද්‍රව්‍ය භාවිතය කිරීම, විශේෂයෙන්ම තෝරා ගත් ශාඛ සාර මගින්
11. උගුල් ඇටවීම සහ අතින් ඉවත් කිරීම

ගොවිපල සතුන් ඒකාබද්ධ කිරීම

මෙය කාබනික ගොවිතැනෙහි ප්‍රධානතම වූ අත්‍යවශ්‍ය අංගයකි. කාබනික ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයේදී සතුන් දක්වන සහය ඉමහත් වේ. එමෙන්ම මෙවන් දෑ සෑම පාරම්පරික ගොවිතැන් ක්‍රමයකම අංගයක් විය. කෙසේ නමුත් සත්ව ඒකාබද්ධය සත්ව සංඛ්‍යාව වැඩිකර ගැනීමටම නොවේ. සත්ත්ව අපද්‍රව්‍ය ගොවිපලෙහිදී පොහොරක් ලෙසද, ජීව වායු ඒකකය සඳහාද කොම්පෝස්ට් සෑදීමේදීද උපයෝගි කරගනු ලබයි. බිත්තර, මස්, කිරි වැනි නිපැයුම් සෞඛ්‍ය සම්පන්න ආහාරද වනු ඇත.

--- ජීවවායුඒකකයකවිස්තරගවමඩුවහාකුස්සියසමගපෙන්වන්න ---

කාබනික ගොවිතැනෙහිදී ගොවිපල සත්වයින්ගේ සුබසාධනය මනාව තහවුරු කර ගත යුතුය. හැකි පමණ නිදහසේ දිවි ගෙවන්නට හැරිය යුතුය. ස්වාභාවික ජීවන තත්ත්ව සපයා දිය යුතුය. සත්ත්ව ගහණය අන් සතුන්ට හිරිහැරයක් නොවන සේ පාලනය කර ගත යුතුය. කාබනික ආහාර පමණක් ලබා දිය යුතුය. සකස් කළ කෘත්‍රිම ආහාර නොදිය යුතුය. ස්වභාවික බෙහෙත් වර්ග ලබා දිය යුතුය. බැරිම වූ අවස්ථාවක අන් බෙහෙත් වර්ග පාවිච්චි කළ හැකිය. හෝමෝන, වර්ධන රසායන ආදිය කෘත්‍රිම ආකාරයේ නොදිය යුතුය. කාබනික ගොවිපලකින්ම සතුන් ලබා ගත යුතුය. ජාන තාක්‍ෂණ සතුන් ගොවිපලට ඒකාබද්ධ නොකර ගත යුතුය.

මීට අමතරව අවශ්‍ය වන්නාවූ සත්ත්ව මඩු, කළමනාකරණය ආදී දේ ගැන විස්තර "භූමි සැලැස්ම හා ඒකාබද්ධ ගොවිපොළ" යන පරිච්ඡේද වල දක්වා ඇත. සතුන්ට ආහාර සැපයීමේදී උන්ගේ අවශ්‍යතාවයන් ගැන වෙන වෙනම සලකා බලා තුලිත වන ලෙස ලබා දිය යුතුය. එනිසාම තම ගොවිපලෙහි කොටසක හෝ තැන් තැන්වල සත්ව ආහාරයට සුදුසු පැලෑටි වර්ගද ස්ථාපනය කර ගැනීම ස්වයංපෝෂණය සඳහා මනා පිටුවහලක් වනු ඇත. බෝග ගැන පමණක්ම අවධානය යොමු නොකළ යුතුය.

නිපැයුම් ගබඩාකරණය හා ප්‍රවාහණය

සාමාන්‍යයෙන් කෘෂි නිපැයුම් ගබඩාකරණය හා ප්‍රවාහණය අස්වනු නෙලීම සහ වෙළදාම කොටස් වල කොටසෙහි මනාව දක්වා ඇති හෙයින් මෙහිදී සටහන් කරනුයේ විශේෂ අවස්ථාවන් පමණි.

කාබනික නිපැයුම් ගබඩාකරණයේදී සහ ප්‍රවාහණයේදී අවධානය යොමු කළ යුතු කරුණු රාශියකි. මේවා අතර අනෙක් ක්‍රම වලට ලබාගත් නිපැයුම් සඳහා වාර්තා තබා ගැනීම කොටසේ දක්වා ඇති දේද යම් යම් ප්‍රමාණ වලට වලංගුය. කෙසේ හෝ වේවා විශේෂිත අවධානය යොමු කළ යුත්තේ පහත සඳහන් කරුණු වලටය. මේවායේ අභිප්‍රාය පාරිභෝගිකයාට අවුලක් සහ අවිශ්වාසයක් ඇති නොවන සේ නිපැයුම් ලබා දීමයි.

1. කාබනික නොවන නිපැයුම් සමග කිසි විටෙකත් මිශ්‍ර නොකළ යුතුය. එමෙන්ම එකට ගබඩා නොකෙරිය යුතුය.
2. නිපැයුම් වෙන යම් ද්‍රව්‍ය, රසායන හෝ නිපැයුම් වලින් දූෂිත නොවිය යුතුය.
3. අවසාන ලේබලය යොදන තුරු හඳුනා ගත හැකි වන ලෙස පරිහරණය කළ යුතුය.
4. ගබඩා පෙදෙස් අතිශයින්ම පිරිසිදු විය යුතුය.
5. අවශ්‍ය නම් සීත ගබඩාකරණය, වායු ගබඩාකරණය කළ හැකිය. ධූම කරණය කළ යුත්තේ අවරය ඇති වායු වලින් පමණි.
6. ප්‍රවාහණය විශේෂිතව කළ යුතුය වෙනත් දෑ හා මිශ්‍ර වීමට ඉඩ නොහරිමින්.

නිපැයුම් සැකසීම

නිපැයුම් සැකසීමේදී සියයට සියයක්ම කාබනික බව ආරක්‍ෂා කර ගැනීම වගාකරුවාගේ හා සකසන්නාගේ වගකීමයි. පහත ලෙස නිපැයුම් සකසා ගැනීමට ඉඩ ප්‍රස්ථාව ඇත.

1. කුඩු කිරීම්, ඇඹරීම් හා මිශ්‍ර කිරීම් කළ හැකිය.
2. අවශ්‍ය නම් පැසීමේ ක්‍රියාවලියන්ට භාජනය කළ හැකිය.
3. නිස්සාරණය කර ගන්නේ නම් භාවිතා කළ යුතු වන්නේ ජලය, ඊතයිල් මධ්‍යසාරය හා අවසර ඇති තෙල් වර්ග භාවිතයෙන් පමණි.
4. දුම් ගැස්සවීම කළ හැකිය.
5. විකිරණ හෝ ක්‍ෂුද්‍ර තරංග භාවිතය නොකළ යුතුය.
6. ඉඩ දී ඇත්නම් පමණක් ලවණ, විටමින, ඛනිජ අවසර ඇති ප්‍රමාණ වලින් හා ක්‍රම වලින් සම්බන්ධ කර ගත හැකිය.
7. නිපැයුම් වලට එකතු කරන යමක් වේ නම් ඒවාද කාබනික විය යුතුය. එසේත් නැත්නම් අවශ්‍ය නම් පමණක් පාවිච්චියට අවසර දී ඇති ඒවා විය යුතුය.

සමාජ හිමිකම් හා සාධාරණ වෙළඳාම

මෙය කාබනික ගොවියාගේ අවධානය යොමු කළ යුතු විශේෂිත වූ කාරණයකි. කාබනික ගොවියාගේ එකම අභිප්‍රාය ලාබ ලැබීම සහ ඉහල අස්වැන්නක් ලැබීම නොවන බව පෙරදී සඳහන් කොට ඇත.

ලෝක කම්කරු සංවිධානයේ සම්මුතින්ට සහ රෙගුලාසි වලට දැඩි අවධානය යොමු කරමින් වැඩ කටයුතු කිරීම කාබනික ගොවියාගේ යුතුකම හා වගකීම වනු ඇත. තම ගොවිපලෙහි කටයුතු වල නිරත සියල්ලන්ට පිරිසිදු ජලය, ආහාර, නිසි නිවහන්, අධ්‍යාපනය, ප්‍රවාහණ පහසුකම් හා සෞඛ්‍ය පහසුකම් සැපයෙන ලෙස සංවිධාන ගත විය යුතුය. සමාජ ආරක්‍ෂණයද ඔවුනට ලබා දීම වගකීමකි. ඒ අනුව ප්‍රසූත නිවාඩු ලබාදීම, රෝග වූ විට පහසුකම් ලබාදීම හා විශ්‍රාම වැටුප් පාරිතෝෂික ලබා දීම අත්‍යාවශ්‍යය. සෑම සේවකයෙකුම හෝ සේවිකාවක්ම අගය කිරීමට පාත්‍ර විය යුත්තේ ඉටු කරන කාර්යය මත මිස වෙනත් කරුණු කාරණා මත නොවේ. සහතික කිරීමේ නිලධාරීන් මේ සියළු දේ ගැන අවධානය යොමු කරන බව අමතක නොකළ යුතුය.

වැඩ කරන්නන්ගේ නන් වැදෑරුම් සුභ සාධනය අමතක කිරීම කාබනික ගොවියා කෙසේවත් නොකළ යුතුය. සාධාරණත්වයට සම්බන්ධව නිපැයුම් වල මිල නියම කිරීම පාරදෘෂ්‍ය බවින් අගතැන් පත් විය යුතුය. තම ගොවිපලෙහි කාර්යයේ නියුතු අයට මෙවන් දේ සැඟවිය යුතු නැත.

කාබනික ගොවිතැනෙහිදී කාන්තාවන්ට විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා ඇත. ඔවුනට දේපල අයිතිය, සමාන වැටුප්, සාධාරණ වැඩ පැවරුම්, සමාන අධ්‍ය‍ාපන හා පුහුණු කිරීම්, තීරණ ගැනීමේදී වගකීම් පැවරීම, ලිංගික අතවරයන්ට භාජනය වීමට ඉඩ නොහැරීම ආදී දේ සාධාරණව භුක්ති විඳීමට පරිසරයක් ඇති කළ යුතුය. වසර 15ට අඩු දරුවන්ගේ අයිතිවාසිකම් ගැනද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියන්ට අනුකූලව කටයුතු කළ යුතුය.

සහතික කිරීම්, පිළිගැනීම් සහ ප්‍රමිති

කාබනික ගොවිතැනෙහි ගෝලීය ව්‍යාප්තිය සමග සහතික කිරීම්, පිළිගැනීම් හා ප්‍රමිතීන් ඇති වීම නිරායාසයෙන්ම සිදු වූවකි. මීට ප්‍රධාන හේතුව වන්නේ එදා මෙන් නොව අද කාබනික නිපැයුම් පරිභෝජනය කරනු ලබන්නේ බොහෝ දුරට ගොවිපල අසල්වාසීන් හෝ ගම් ප්‍රදේශයේ අය නොව ඊට පරිබාහිරව ජීවත් වන බොහෝ අයයි. එම පාරිභෝජිතයන් එකම රටක වෙනත් ප්‍රදේශයක හෝ විවිධ රටවල බොහෝ ප්‍රදේශ වල ජීවත් වන්නන්ය. නිපයන්නා හා පාරිභෝගිකයා එකිනෙකා නොහඳුනයි. එහෙයින් යම් යම් රටවල් වල ඇති පිළිගත් සංවිධාන මගින් කරන්නාවූ සහතිකය ඇත්නම් පමණක් පාරිභෝගිකයාගේ අවධානය කාබනික නිපැයුම් වෙත යොමු වෙයි. එහෙයින්ම නිපැයුම් අලෙවි කරනයට සහතික ලබා ගැනීම අත්‍යාවශ්‍යව ඇත.

ලේබල් කිරීම හා පාරිභෝගික දැනුවත් කිරීම

මෙහිදී සිදු වන්නේ සහතික කිරීමේ පිළිගත් අයතනය විසින් තමන්ට අයත් වන්නාවූ ලේබල් සලකුණ නිපැයුම් වලට බද්ධ කිරීමයි. මෙවන් ආයතන නොයෙක් රටවල ඇති අතර බොහෝ එවන් ආයතනයන් තම ලේබලය සමග ගෝලීය පිළිගැනීමට ලක් වී ඇත. මෙම සහතික ලේබලය ලබා ගැනීම සඳහා පෙර විස්තර කළ අයුරු තම ගොවිපල හසුරුවා ගත යුතුය. එම සහතික ලබා ගැනීමේදී එක් එක් ආයතන තමන් අවධානය කරන කරුණු කාරනා කාබනික ගොවියාට දැනගන්නට ලබා දෙනු ඇත.

තම නිපැයුමට පිළිගත් ලේබලයක් අලවා ගැනීමට හැකියාව ලබා ගැනීම පාරිභෝගික දැනුවත් කිරීමක් වනු ඇත. මෙම ක්‍රියාවලිය ලංකාවේ නිෂ්පාදනවලට “SLS” තත්ත්ව සහතිකය ලබා ගන්නා වැනි ක්‍රියාවලියකි. “SLS” ලේබලය දුටු විට පාරිභෝගිකයාට සහතිකයක් ලෙස හැඟී යයි. එමෙන්ම කාබනික ලේබලය තිබෙන නිපැයුම් මගින්ද එම සහතිකය පාරිභෝගිකයාට ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවේද මෙම සහතික ලබාගත් නිපැයුම් කරුවන් බොහෝය. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ලාංකික පාරිභෝගිකයන්ට පමණක් අදාළ වන්නා වූ සහතික ලේබලයක් සැකසීමට ලංකා කාබනික ගොවි ව්‍යාපාරය උත්සහ ගනිමින් සිටිනු ලබයි.

දැනට ලෝකයේ පිළිගත් ප්‍රචලිත ලේබල් සහ සහතික නිකුත් තරන ආයතන බොහෝය. කෙසේ හෝ වේවා සහතික තත්ත්වයන්ට ගොවිපලක් දියුණු කර සහතිකය ලබා ගැනීම මිල අධික වූ කාර්යයකි.

ප්‍රකාශන නිර්මාණය:- ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ. එන්. ජයකෝඩි