කිරි ගව පාලනය

වසු පැටවුන් ඇති කිරීම

කිරි ගව පාලනයේදී පැටවුන් ඇති කිරීම ඉතා වැදගත් කොටසකි. ගර්භනී දෙනුන්ට ආහාර සැපයීම හා මනාව පාලනය කිරීම පැටවුන්ගේ උපත් බර (වැඩුනු සතෙකුගේ බරින් 6-8% පමණ) හොඳ තත්ත්වයේ පවත්වා ගැනීමට උපකාරී වෙයි.

අලූත උපන් වසු පැටවා උපතේදී රැක බලා ගැනීම

  • පැටවාගේ නාසය, ඇස් හා කන් අවට ඇලී ඇති ශ්ලේෂ්මල හා පටල ඉවත් කරන්න.

  • පැටවාගේ පසු ගාත්‍රා දෙකෙන් එසවීම මගින් ශ්වසන පද්ධතිය අවහිර වී ඇති සියළුම ද්‍රව්‍ය ඉවත් කර ගත හැකි අතර එය පැටවාගේ ශ්වසනය පහසු කරයි.

  • පැටවාගේ උදර බිත්තියේ සිට අඟලක් පමණ පහලින් පෙකෙනි වැලෙහි ගැටයක් දමා අයඩින් ද්‍රාවණය (විෂබීජ නාශකයක්) සහ මාගෝසා තෙල් (මැස්සන් විකර්ශක) ගැල්වීම කළ යුතුය.

  • එලදෙනට පැටවා ලෙවකෑමට සලස්වන්න.

     

මුල් කිරි දීම

ප්‍රසූතියේ සිට මුල් දින 4 තුළ දෙන මගින් නිපදවන කිරි, මුල් කිරි ලෙස හඳුන්වයි.

මුල් කිරිප්‍රතිශක්තිය වැඩි කරයිලපෝෂණයෙන් ඉහල වන අතර ආහාර මාර්ගය පිරිසිදු කරයි

ස්වභාවික කිරි දීම

මෙය පැටවකු පෝෂණය කිරීමේ පහසුම ක්‍රමයයි. ඕනෑම කාර්යක්‍ෂම උත්තේජන සහ කිරි දෙවීමේ ක්‍රමයක් යටතේ කිරි දොවාගත හැකි වන්නේ 75-80% පමණය. ඉතිරි කිරි කොටස ලබාගත හැක්කේ පැටවාට පමණි. සාමාන්‍ය ක්‍රමයට පැටවු පාලනයේදී පැටවාට මවගෙන් කිරි බීමට සලස්වන්නේ දවසේ යම් කාලයක් පමණි. මෙය සීමාසහිත කිරි දීම ලෙස හඳුන්වයි. මෙය කිරි දෙවීම හෝ කිරි නිදහස් කිරීම උත්තේජනය කරවන අතර පැටවාගේ වර්ධනය වැඩි කිරීමට සහ බුරුලූ ප්‍රදාහය අඩු කිරීමටත් උපකාරී වේ.

පැටවුන්ට දළ හා සාන්ද්‍ර ආහාර ලබා දීම

දළ හා සාන්ද්‍ර ආහාර ලබා දීමේ අරමුණු වන්නේ කිරි ලබා දෙන ප්‍රමාණය අඩු කිරීමෙන් රූමනය වර්ධනය වීම ඉක්මන් කිරීම සහ කලින් කිරි වැරීමට උදව් කිරීමයි. ගුණාත්මයෙන් යුත් සාන්ද්‍ර ආහාර සහ වියලි තෘණ හඳුන්වා දීම වයස දින 10 සිට සිදුකළ හැක. පැටවාගේ නාසයේ සහ මුඛයේ සාන්ද්‍ර ආහාර ඇතිල්ලීමෙන් සාන්ද්‍ර ආහාර ගැනීමට හුරු කරගත හැක.
සාන්ද්‍ර ආහාරය “premix calf starter ration” හෝ පොල් පුන්නක්කු හා සහල් නිවුඩු 1:1 හෝ 2:1 අනුපාතයට මිශ්‍ර කර යොදාගත හැක.

  • පැටවාට ප්‍රමාණවත් සේ රළු හා සාන්ද්‍ර ආහාර ගැනීමට උනන්දු කරවන්න.

  • පැටවා ප්‍රමාණවත් සේ රළු හා සාන්ද්‍ර ආහාර මත යැපෙන්නේ නම් වයස සති 4 සිට ක්‍රමයෙන් කිරි මත යැපීම අත්හිටුවිය හැක. රළු හා සාන්ද්‍ර ආහාර නිතරම ආහාරයට තබන්න.

  • ඛනිජ මිශ්‍රණයක් හෝ හුමාලයෙන් තම්බන ලද ඇට කුඩුද ආහාර (bonemeal) සඳහා තබන්න. සෑම විටම බීමට සුදුසු පිරිසිදු ජලය සපයන්න.

කිරි වැරීමට සුදුසු කාලය

  • පැටවකු වයස සති 8 ට පසු කිරි වැරීම සිදු කළ හැක. මෙම අවධිය වන විට පැටවුන්ගේ දේහ ප්‍රමාණය වැඩුනු සතෙකුගේ බරින් 10-12% පමණ හෝ ඔවුන් උපත් බර මෙන් දෙගුණයකට ළඟාවී තිබිය යුතුය.
  • පැටවාට ප්‍රමාණවත් සාන්ද්‍ර ආහාර (0.5 kg) සහ වියලි තෘණ සහ තෘණ (0.5 kg) ආහාරයට ගත හැකි අවධිය,

පැටවුන් ඇතිකිරීමේදී කළයුතු විශේෂ කාර්යයන්

  1. හඳුනා ගැනීම: කනේ ටැග් එල්ලීම, කන් කැපීම, පච්චා කෙටීම

  2. අං සිඳීම: රත් වූ යකඩයක් හෝ කෝස්ටික් පොටෑෂ් යොදාගත හැක.


Caustic potash: සතාගේ පළමු සතිය තුළදී කළ යුතුය. සෙ.මී. 2.5 පමණ විශ්කම්භයට රෝම ඉවත් කර අං එන ස්ථානය අවට ග්‍රීස් ආලේප කරන්න. එය කෝස්ටික් පොටෑෂ් ඇස් වලට ගැලීම වලක්වයි. ප්‍රතිකාරයට පසු පැටවා දිනක් පමණ තනිව තබන්න.

 

වැස්සියන් පාලනය

ගැහැණු වසු පැටවුන් වැස්සි පැටවුන් ලෙස හඳුන්වන අතර කිරි වැරීමෙන් පසු වැස්සියන් ලෙස හඳුන්වයි. ආහාර, සෞඛ්‍යය සහ වර්ධනය මගින් පහත අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුය.

  • ඉහල සජීවීතාවයක්

  • මාස 12 දී පමණ මල්වර වීම

  • මාස 15-20 දී පමණ ගැබ්බර වීම

  • මාස 24-30 පමණ ප්‍රසූතිය සහ සතුටුදායක ලෙස කිරි නිපදවීම

  • ප්‍රසූතියෙන් පසු දින 70 සිට 80 අතර කාලයේ නැවත මදයට පැමිණීම සහ නැවත ගර්භනී වීම

මදෂණ

කිරි ගව පාලනයේදී සාර්ථක වීමට වඩාත්ම වැදගත් සහ කිරි ගොවීන්ට නිතර මග හැරෙන අවස්ථාවක් ලෙස මදය සහ ප්‍රජනනය හැඳින්විය හැකිය. මෙය හඳුනාගත නොහැකි වුවහොත් පළමු පැටවා බිහි කිරීමට ගතවන කාලය වැඩි වීම හෝ පැටවුන් උපත් කාල පරතරය වැඩි වීම සිදුවේ. සාමාන්‍ය දෙනකගේ මද ලක්‍ෂණ පහත දැක්වේ.

  • අනෙකුත් සතුන්ට පිට මත නැගීමට ඉඩ දීම

  • දෙන අනෙක් සතුන් මත නැගීම

  • භගමනිය රත් පැහැ වීම, ඉදිමීම සහ තෙත් වීම

  • භගමනියෙන් ජලීය ශ්ලේෂ්මල ස‍්‍රාවය සහ ඒවා වලිගය සහ පාද වල තැවරීම

  • අවිවේකී බව

  • bellowing (කෑ ගැසීම)

  • නිතර නිතර මූත්‍රා කිරීම

  • වලිගය එසවීම - වැස්සියන් සඳහා සුදුසුම ලක්‍ෂණයයි

  • කිරි දෙන සතුන්ගේ කිරි නිෂ්පාදනය තරමක් පහල බැසීම

  • ආහාර අරුචිය

වැස්සියන් අභිජනනය

නිවර්තන කලාපීය රටවලදී දෙනුන්ගේ මද ලක්‍ෂණ ඉතා කෙටි කාලයකට එනම් පැය 12 කට පමණ සීමා වේ. එම නිසා නිතරම අවධානයෙන් සිටිය යුතුය. උදය කාලයේදී මද ලක්‍ෂණ ඉතා පහසුවෙන් නිරීක්‍ෂණය කළ හැකි අතර එය මද ලක්‍ෂණ පරීක්‍ෂාව සඳහා දවසේ හොඳම කාලයයි. දවසේ උදය කාලයේ නිරීක්‍ෂණය වන මද ලක්‍ෂණ සහිත සතුන් එම දිනයේ සවස් කාලයේ අභිජනනය කිරීම අවශ්‍ය වේ. සිංචනය සඳහා මදයේ පසු භාගය එනම් මදයේ පළමු පැය 8 (ස්වභාවික සිංචනයේදී මද ලක්‍ෂණ නිරීක්‍ෂණයෙන් කෙටි කාලයක් ඇතුළත දෙන පිරිමි සතා ළඟට රැගෙන යා යුතුය) ඉතා සුදුසු වේ. සවස් භාගයේ මදයට පැමිණෙන සතුන් පසු දින උදෑසන සිංචනය කළ යුතුය.

නියමිත දේහ ප්‍රමාණය ළඟා වීමට ප්‍රථම වැස්සියන් මද ලක්‍ෂණ පෙන්වීම ආරම්භ කරයි. සමහර අවස්ථාවලදී වයස අවුරුද්දකට පෙර මද ලක්ෂණ පෙන්වයි. මෙම අවස්ථාවේ ඔවුන් අභිජනනය කළහොත් ප්‍රසූතියේදී ගැටළු මතු වීම, ගර්භනී වීම නිසා වර්ධනය අඩු වීම හෝ නැවතීම, හෝ පළමු මුරයේදී නිපදවන කිරි ප්‍රමාණය ඉතා අඩු වීම සිදුවිය හැක. එබැවින් පළමු අභිජනනය සතාට වයස මාස 18දී හෝ ඉන් පසුව සහ දේහය පරිණත වීමෙන් සහ පරිණත දේහ බරින් 70% පමණ පමණ ළඟා වූ පසු සිදු කිරීම වඩාත් සුදුසුය.

සිංචනයකරන සතුන් පාලනය

සිංචනය නිදහස් හා නිශ්ෂබ්ද පරිසරයක සිදුකළ යුතුය. සතාට පැනිය නොහැකි වන පරිදි ගැට ගැසිය යුතුය. සිංචනයට පෙර සහ පසු සතාට කෑම සහ ජලය ලබාදී සෙවන සහිත ස්ථානයක තබන්න. හොඳ ප්‍රතිකාරයකින් ඉහල සංසේචන හැකියාවක් ලබාගත හැක.

ගර්භනී වැස්සියන්

දෙනකගේ ගර්භනී කාලය දින 280 ක් පමණ වේ. මෙය වර්ගය මත දින කිහිපයකින් වෙනස් වේ. ප්‍රසූතියට මාස 2 ට පෙර දෙන වියලි (dry – කිරි දෙවීම නැවැත්වීම) කළ යුතුය. වියලි කරන ලද කාලයේදී කලලයේ බර වැඩි වීම සැලකිය යුතු ප්‍රමාණයෙන් සිදු වේ.

ගව නිවාස

කුඩා ප්‍රමාණයේ කිරි ගොවීන් සතුන්ට සපයන නිවාස පහසුකම් ප්‍රමාණවත් නොවන අතරම (වහලය, වාතාශ්‍රය, බිම් තත්ත්වය, ඉඩ ප්‍රමාණය, ජලය ගලා බැසීම, ගොම ඉවත් කිරීම) යහපත් ආහාර බඳුන් නොමැති වීමෙන් ආහාර අපතේ යයි. නිවාස වර්ග වැඩි ප්‍රමාණය යුරෝපීය වන අතර එබැවින් දේශීය තත්වයට සුදුසු පරිදි තෝරා ගැනීම හෝ යම් යම් වෙනස්කම් සිදු කිරීම අත්‍යාවශ්‍ය වේ. නිවසක් සැලසුම් කිරීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක් පහත දැක්වේ.

  1. සතුන් ගාල් කිරීමට ප්‍රමාණවත් ඉඩ ප්‍රමාණයක්

  2. ප්‍රමාණවත් පිරිසිදු ජලය තිබීම

  3. ප්‍රමාණවත් ආහාර බඳුන් ඉඩ

  4. ප්‍රමාණවත් සෙවන (ආහාර දීමේදී / තෘණ උලා කෑමේදී)

ප්‍රධාන ලෙස නිවාස වර්ග 2ක් හඳුනාගත හැක.

  1. ගැටගසන නිවාස (රූපය අංක 1)

  2. නිදැලි නිවාස

සතුන් ගැට ගසා තබන නිවාස

මෙම ක්‍රමයේදී සෑම දෙනක්ම කණුවක ගැට ගැසීම කරන අතර ආහාර ලබා දීම සතා ඉදිරියේ ඇති බඳුනකට සිදු කරයි. කිරි දෙවීමද තනි තනි සතා වශයෙන් එම ස්ථානයේදීම සිදු කරන අතර ගොම එකතු කිරීම කානුවක් මගින් සිදුවේ.


මෙම ක්‍රමයේ අවාසි වනුයේ

  1. සතුන් දීර්ඝ කාලයක් තැබීමේදී කුර ප්‍රශ්න මතු වීම. ව්‍යායාම නොමැති කමෙන් කොර ගසන කකුල් ඇතිවේ.

  2. සමහර ක්‍රියාකාරකම් වලට බාදා පමුණුවයි (මද ලක්‍ෂණ නිරීක්‍ෂණය)

  3. බුරුලූ පුඩු පෑගීම (ළඟ සිටින සතුන් හරහට ඇවිදීම මගින් බුරුලූ පුඩු පෑගීමට ඉඩ ඇත)

නිවාස පිළියෙල කිරීම තනි පේලියකට හෝ පේලි 2කට කළ හැකිය. පේලි 2 ට සතුන් යෙදීමේදී, (1) මුහුණට මුහුණ ක්‍රමය (ආහාර දීමට මැද ඇලිය සමග), (2) නිවාසයෙන් ඉවත බලා සිටින සේ (වලිගයට වලිගය ක්‍රමය) කිරි දෙවීමේ මැද ඇලිය සහ ආහාර දීමට ඇලි 2ක් පිටතින් සිටින සේ.

 

(මුහුණට මුහුණ ක්‍රමය) (වලිගයට වලිගය ක්‍රමය)
රූපය 1

බර කි.ග්‍රෑ. 500-600 පමණ වන සතෙකුට අවශ්‍ය මිනුම් ප්‍රමාණයන් වගු අංක 1.1. හි දැක්වේ. සතුන්ගේ ප්‍රමාණය අනුව සපයන ඉඩ ප්‍රමාණය වෙනස් වේ. ගව ගාල කොටස් කිරීම මගින් දෙනුන් වෙන් කිරීම සාමාන්‍යයෙන් සිදුවේ. ගාල කොටස් නොකරන විට සතෙකුට සපයන ඉඩ ප්‍රමාණය මි.මී. 50-100 පමණ වැඩි කළ යුතුය. ජල බඳුන් සැපයීම සතුන් දෙදෙනෙකුට 1 ක් ලෙස කළ හැක. මෘදු අතුරණු සතුන්ගේ පහසුවට අත්‍යාවශ්‍යවේ. මෙය සතුන් පිරිසිදුව තැබීමට හා කුර රෝග වැලැක්වීමට උපකාරී වේ. ආහාර බඳුනේ පළල මීටර 0.5-0.6 සහ පතුලේ උස අඩුම වශයෙන් කූඩුවේ පොළවට වඩා සෙ.මී. 4-5 ක් උස විය යුතුය.

වගුව 1

කාණු පද්ධති වර්ගය ගාලේ පළල (m) ගාලේ දිග (m)
නිවාස - විවෘත කාණු 1.10-1.20 1.55-1.65
නිවාස – වැසුණු කාණු 1.10-1.20 1.45-1.55

නිදැලි නිවාස

නිදැලි නිවාස තුළ සතුන් ගැට ගැසීම සිදු නොවේ. සතුන්ට නිවාසය තුළ නිදහසේ ඇවිදිය හැක. මෙම ක්‍රමයේදී සාමාන්‍යයෙන් සතුන්ට ඇවිදීමට කලාපයක් සහ ලැගීමට කලාපයක් ඇත. ආහාර දෙන කලාපය නිදන ප්‍රදේශයෙන් වෙන් කොට ඇත. විශාල බිම් ප්‍රමාණයක ගොම විසිරීම නිසා අතින් (සවලක් භාවිතයෙන්) එකතු කර වලකට හෝ කානුවට දැමීම සිදුවේ. ආහාර සැපයීම ආහාර බඳුන් වලට සිදුවේ. එක් සතෙකුට එක් ආහාර බඳුනක් තිබීම වැදගත්ය.

නිදැලි ගව නිවසක ඇති වාසි

  1. සාම්ප්‍රදායික ක්‍රමයට වඩා නිෂ්පාදන පිරිවැය අඩු වීම

  2. පහසුවෙන් මද ලක්‍ෂණ නිරීක්‍ෂණය

  3. සතුන්ට අවශ්‍ය ව්‍යායාම සැපයීම

  4. හොඳින් කළමනාකරණය කළ හැකි වීම

නිදැලි නිවාසයක තිබිය යුතු වැදගත් ලක්‍ෂණ

  1. කිරි දෙවීමට, පැටවුන් බිහි කිරීමට හා පැටවුන් රැකබලා ගැනීමට අවශ්‍ය ඉඩ තිබිය යුතුය

  2. ආහාර හා ජලය දෙන ස්ථානය සහ නිදන ස්ථානය හොඳින් සැලසුම් කළ යුතුය

  3. පිරිසිදු කිරීමට පහසු වන සේ බිම සිමෙන්ති ආලේපිත හෝ ගඩොල් අතුරා තිබිය යුතුය

  4. කාණු පද්ධතිය නොගැඹුරු හා ඉවත් කළ හැකි කොන්ක්‍රීට් ආවරණ මගින් ආවරණය කළ යුතුය

  5. කාණු පද්ධතිය 10’:1” බැස්මක් තිබිය යුතුය. (සෑම අඩි 10 ටම අඟලක්)

  6. වහලය ඇස්බැස්ටෝස් තහඩු හෝ ටකරන් තහඩු විය හැක

වගුව අංක 2 - නිදැලි නිවසක බිම සහ ආහාර බඳුන්වල ප්‍රමාණයන්

ඉඩ ප්‍රමාණය / සතෙකුට
Type of animal සෙවන සහිත ඉඩ ප්‍රමාණය (ft2) සෙවන රහිත ඉඩ ප්‍රමාණය (ft2) ආහාර බඳුන්වල දිග
එළදෙනුන් 20-30 80-100 20-24
නැම්බියන් 15-20 50-60 15-20
ගර්භනී එළදෙනුන් 100-120 180-200 24-30
පිරිමි සතුන් 120-140 200-250 24-30

ආහාර රාක්කය

ආහාර බඳුන් සතුන් ලගින ප්‍රදේශයෙන් වෙන් කිරීම මෙමගින් සිදුවේ. විවිධ වර්ගයේ ආහාර රාක්කයන් රූපය 2 හි දැක්වේ.

 

රූපය 2

නිවාසයේ සැලැස්ම

නිවර්තන කලාපයේ ගව නිවාස සඳහා අවම පහසුකම් සැපයීම ප්‍රමාණවත්ය. බොහොමයක් අවස්ථාවල තනි කණුවක කුඩයක් ආකාරයේ වහලයක් පමණක් තිබීම සෑහේ. මෙමගින් ස්වාභාවික වාතාශ්‍රය හොඳින් සතුනට ලැබේ. නිවාසයේ සැකිල්ල දැව හෝ යකඩ වලින් තැනීම සිදු වේ.

වහලය තැනීමට ඇලූමිනියම් හෝ ඇස්බැස්ටෝස් වැනි පරාවර්තක ද්‍රව්‍ය යෙදීම සුදුසුය. කෙසේ වෙතත් අධික සුළං රහිත ප්‍රදේශ වලට වියලි තෘණ, පිදුරු ඉතා සුදුසුය.


සතුන් ගැට ගසන නිවාසයක සැලැස්ම

  • මෙම නිවාස වල වහලය යකඩ භාවිතයෙන් නිම කරන අතර සෙවිලි ද්‍රව්‍ය යොදා සෙවිලි කරයි.

රූපය 3 - පේලි එකක් සහිත නිවාසයක්

 

  • පේලි දෙකක් සහිත නිවාස වල වහලය පළලින් වැඩි නිසා සම්බන්ධ කර තැනීම වඩාත් සුදුසුය. ස්වභාවික වාතාශ්‍රය වැඩි කිරීමට විවෘත කොන් තිබිය යුතුය.

රූපය 4 - පේලි දෙකක් සහිත නිවාසයක්


අධික උෂ්ණත්වය සහිත දේශගුණයක් යටතේ අමතර කවුළු සැපයීම වාතාශ්‍රය වැඩි දියුණු කිරීමට උදව් වේ.

නිදැලි නිවාස සැලසුම

නිදැලි නිවාස වල වහලය විවිධාකාරයෙන් නිමවිය හැක. අඩු වර්ෂාපතනයක් සහිත ප්‍රදේශ වලට සමාන්තර වහලය ප්‍රමාණවත්ය. නමුත් වර්ෂාපතනය වැඩි ප්‍රදේශවලට වහලය ආනතව තිබීම අත්‍යාවශ්‍ය වේ. සතුන් ලගින ප්‍රදේශයට හිරු එලිය ලබාදීමේ සහ නිවාස ඇතුළත වියලිව තබා ගැනීමේ බලාපොරොත්තුවෙන් නිදැලි නිවාස උතුරු-දකුණු දිශාවට සිටින සේ සෑදිය හැක. නිවාසය සැලසුම් කිරීමේදී සුළං දිශාවද සැලකිය යුතුය.

පැති බිත්තිවල නිර්දේශිත උස මීටර 3 කි. වර්ෂාව, සුළං වේගය සහ උෂ්ණත්වය මත මෙය කොටසක් හෝ සම්පූර්ණයෙන් අත්හැරීම සිදු කළ හැක. නිදැලි නිවාසයේ සිමෙන්ති වලින් තැනූ ඇලි අපද්‍රව්‍ය ඉවත් කරන දිශාවට ආනතව තැබිය යුතුය. ගොම සූරා ඉවත් කරන බිමකට 3%ක ආනතියක් නිර්දේශ කරයි. කානුවේ බිම පැත්තෙන් පැත්තකට සමතලා විය යුතුය. අසීමිතව ජලය සපයන්න.

දෙනුන් පාලනය

දෙනුන් ආතතියෙන් තොර වටපිටාවක තැබිය යුතු අතර ආහාරයේ සහ පරිසර තත්ත්ව වල ඉතා සුළු වෙනස්කම් සිදු විය හැක. මෙම තත්ත්ව යටතේදී දෙනගේ ශරීරයේ සෞඛ්‍යය සහ ශරීරය වැඩි වාර ගණනක් පැටවුන් බිහිකිරීමට සහ උපරිම කිරි නිෂ්පාදනයක් ලබා දීමට සුදුසු තත්ත්වයෙන් පාලනය වේ.

කිරි දෙනුන්ට ආහාර සැපයීම

මෙය කිරි අස්වැන්න සහ දේහ බර මත රඳා පවතී. රළු ආහාර සහ සාන්ද්‍ර ආහාර සැපයිය හැක. (විස්තර පසුව ඇත).

ප්‍රසූතියේදී පාලනය

ප්‍රසූතිය, දෙනට සහ අලූත ඉපදෙන පැටවාට අමතර ආතතියක් සහ කිරි ගොවියාට වැඩ අධික කාලයකි. මෙම අවස්ථාවේ දුර්වල පාලනය පැටවාගේ සහ දෙනගේ නිෂ්පාදන ක්‍රියාවලියේ දරුණු ගැටළු ඇති කිරීමටත්, ජීවිත හානි වීමටත් බලපායි. සංසර්ගයේ (mating) සිට ප්‍රසූතිය සිදුවන දිනය අනුමාන කළ හැකි අතර ප්‍රසූතියට ළඟා වන විට බුරුල්ල විශාල වීම, භගමනිය අවට පේශීන් ඉහිල් වීම හා ඉදිමීම දැකිය හැකිය. සාමාන්‍ය ප්‍රසූති ලක්‍ෂණ පහත දැක්වේ

  • බුරුල්ල විශාල වීම සහ කිරි තිබීම

  • relaxation of pelvic ligaments

  • වලිගය එසවීම

  • භගමනිය රත් පැහැ වීම සහ ඉදිමීම

  • භගමනියෙන් ශ්ලේෂ්මල ශ්‍රාවය

  • නිතර නිතර මූත්‍රා කිරීම

  • ආහාර අරුචිය

  • අවිවේකී බව - නිතරම බිම වැතිරීම සහ නැගිටීම

ප්‍රසූතියේදී දෙන අපහසු බවක් දක්වයි. ඉඳ ගැනීම සහ නැගිට අපහසුවෙන් ඇවිදීම දැකිය හැක. දෙනගේ භගමනිය ඉදිමීම සහ ශ්ලේෂ්මල ශ්‍රාවය ආරම්භ වේ. වලිගය දෙපස වූ ප්‍රාචීරයන් ඉහිල් වීම සහ ඈ නිතර නිතර පිටුපස බැලීමට පෙළඹේ. මෙම ලක්‍ෂණ ප්‍රසූතිය සිදුවන බව අඟවයි.

පැටවා බිහිවන මාර්ගය ලිහිසි කිරීමට ප්‍රසූතියට පැයකට හෝ දෙකකට පමණ පෙර ජලය සහිත පැස (water bag) පිටතට පැමිණේ. ගර්භාෂයේ පැටවාගේ සහ ජල පැස පිහිටීම් ප්‍රසූතිය ආරම්භ වීමට මොහොතකට පෙර දර්ශනය වන ආකාරය රූපයෙහි දැක්වේ.

රූපය 5


ජල පැස නිරීක්‍ෂණය වී පැය 2ක් ගතවීමට ප්‍රථම පැටවාගේ ඉදිරි පාද දෙක දර්ශණය වීම සාමාන්‍ය පැටවකු ලැබීමේ ලක්‍ෂණයයි (රූපය 2). ඉන් පසු නාසයත් පැයක කාලයක් ඇතුළත සම්පූර්ණ හිසත් පිටතට පැමිණේ (රූපය 3). මිනිත්තු කීපයක් ඇතුළත උරපත්ත සහ ඉන් පසු සම්පූර්ණ පැටවා ඉක්මනින් පිටතට පැමිණීම සිදුවේ.

රූපය 2 රූපය 3

රූපය 6

කිරි දෙවීම

කිරි ගව පාලනයේදී, ආර්ථික ආදායම සහ දෙනුන්ගේ කිරි නිපදවීම අතර සෘජු සම්බන්ධතාවයක් ඇත. අතින් දෙවීම හෝ යන්ත්‍ර මගින් කිරි දෙවීම, කම්කරු වියදම සහ පට්ටියේ විශාලත්වය මත රඳා පවතී. බුරුල්ලේ සනීපාරක්‍ෂාව සහ සෞඛ්‍යය සහ කිරි නිෂ්පාදනය පිළිබඳව සැලකීමේදී ඉතා හොඳින් පුහුණු වූ පුද්ගලයෙකු විසින් අතින් කිරි දෙවීම වැදගත් වේ. කිරි දෙවීමේ පිළිපැදය යුතු සාමාන්‍ය පිළිවෙත්,

  • ක්‍රමවත් කාල පරාසයකට අනුව දෙවීම

  • මඩුවේ (ගාලේ) නිශ්ශබ්දතාවය සහ සාමය පවත්වා ගැනීම

  • සතුන්ට හොඳින් සැලකිය යුතුය

  • කිරි දොවන පුද්ගලයා පිරිසිදු අත්, නියපොතු කොටට කපා තිබීම සහ පිරිසිදු ඇඳුමෙන් සිටිය යුතුය

  • හැකි ඉක්මනින් සහ සෑම පුඩුවකම සමානව කිරි දෙවිය යුතුය


අතින් කිරි දෙවීම

බුරුල්ල සැකසීම (උත්තේජනය)

  • බුරුල්ල සහ තනපුඩු පිරිසිදු කිරීම කිරි අපවිත්‍ර වීම වලකයි.
  • පළමුව දොවන කිරි බුරුළු ප්‍රදාහය සඳහා පරීක්‍ෂා කරන්න.

මෙය දෙනට කිරි නිකුත් කිරීමට උත්තේජනය කරයි. සතාගේ බුරුඵ අවට ප්‍රදේශයද පිරිසිදු කිරීම වැදගත් වේ. කාර්යක්‍ෂම පිරිසිදු කිරීමක් සඳහා බුරුල්ල අවට ඇති රෝම කපා ඉවත් කිරීම අවශ්‍ය වේ. සේදීමෙන් අනතුරුව බුරුල්ල වියලි රෙදි කඩකින් පිස දමා වියලිව තබා ගන්න.

පළමු කිරි පරීක්‍ෂාව, මෙයට කළු පැහැති රෙදි කඩක් ගැට ගැසූ කෝප්පයක් අවශ්‍ය වේ. පළමුව දොවන කිරි මෙම කෝප්පයේ කළු පැහැති රෙදි කඩ මත වැටීමට සැලැස්වීමෙන් බුරුළු ප්‍රදාහය ඇතිදැයි දැනගත හැක. බුරුළු ප්‍රදාහය වැළඳී ඇත්නම් සුදු පැහැ කිරි කැටිති රෙදි කඩ මත දැකගත හැක. ප්‍රතිකාර සඳහා පශු වෛද්‍යවරයෙකුට දැනුම් දෙන්න. ඉහත රෝගී තත්ත්වය නිරීක්‍ෂණය වුවහොත් සම්පූර්ණයෙන් කිරි දොවා ඉවත් කිරීමෙන් පැතිරීම වලක්වාගත හැක.

බුරුල්ල සේදීම හා මුල් කිරි පරීක්‍ෂාව කිරි නිදහස් කිරීමට උත්තේජනය කරයි. ශබ්ද (බාල්දි), කිරි දොවන්නා දැකීම, පැටවා දැකීම සහ මදක් උණු ජලයෙන් බුරුල්ල සේදීම මගින් උත්තේජනය වීම වැඩි කරගත හැක. උත්තේජනය ලැබුනු සැනින් Oxytocin හෝමෝනය නිදහස් වේ. කිරි දොවන්නා හැකි ඉක්මනින් මිනිත්තු 5-6 ක් ඇතුළත කිරි දොවාගත යුතුය.

අතින් කිරි දෙවීමේ ක්‍රම


සම්පූර්ණ අත් ක්‍රමය (Full hand milking – dry fist)


මෙහිදී සම්පූර්ණ අත යොදා ගන්නා අතර තන පුඩුවේ ඉහල කෙලවරින් අල්වාගෙන දබරැඟිල්ලෙන් එහි ඉහල කෙලවර මිරිකනු ලැබේ. ඉතිරි ඇඟිලි මගින් පුඩුව අත්ලට තබා ඉහල සිට පහලට මිරිකනු ලැබේ.

  • Sripping
    දබරැඟිල්ල සහ මාපට ඇඟිල්ල භාවිතා කර පුඩුව ඉහල සිට පහලට මිරිකනු (සූරනු) ලැබේ.

  • Pinching
    මෙය ඉහත ක්‍රමයටම සිදු කරන අතර යොදාගන්නේ දෙවන සහ තෙවන ඇඟිල්ලයි.

  • knuckling
    මාපට ඇඟිල්ල නවා අනෙක් ඇඟිලි වලින් පුඩුව මාපට ඇඟිල්ලට තබා මිරිකීම සිදුවේ.

වඩාත් සුදුසු ක්‍රමය වන්නේ සම්පූර්ණ අත් ක්‍රමය රිද්මයානුකූලව යෙදවීමයි. මෙය වැඩිපුර කිරි ප්‍රමාණයක් ශ‍්‍රාවය කිරීම පවත්වා ගනී. තවද ඉතා කෙටි කාලයක් තුළදී කිරි ශ‍්‍රාවය කිරීම අවසන් කළ හැක. හොඳ අතින් දෙමක ද කිරි ගැලීමේ වේගය යහපත් ලෙස පවත්වා ගනී. දුර්වල ලෙස තණපුඩු මිරිකීමකදී දෙන කිරි නිකුත් කිරීම අඩාල වෙයි. සම්පූර්ණ අත් ක්‍රමය ඉතා කුඩා තන පුඩු ඇති සතුන් සඳහා යෙදවීම තරමක් අපහසුය.

අතින් කිරි දෙවීමේ පිළිවෙල

  1. පසුපස පාදයන් බඳින්න. මෙය අලූත් දෙනුන්ට සහ හීලෑ නොවන සතුන්ට වඩා වැදගත් වේ. එසේ නොවුවහොත් කිරි බාල්දිය පෙරලීම සිදු විය හැක.

  2. සබන් යොදා අත් සෝදා ගන්න

  3. බුරුල්ල හා අවට ඉතා පරිස්සමින් සෝදා පිරිසිදු කරන්න

  4. පළමු කිරි පරික්‍ෂාව කරන්න

  5. සතාගේ දකුණු පසින් වාඩි වෙන්න කෙලින් වාඩි වී බාල්දය පාද 2 ක අතර තබා ගන්න

  6. ඉදිරි තන පුඩු දෙක යටින් සිටින සේ බාල්දිය තබා කිරි දොවන්න

  7. කිරි දෙවීම ඉදිරි පුඩු දෙකෙන් ආරම්භ කරන්න. ඉදිරි පුඩු හිස් වූ පසු ඉතා පහසුවෙන් පසු පස පුඩු වලින් කිරි දෙවිය හැක. (ඉදිරි සහ පසු පස පුඩු වල කිරි ප්‍රමාණයේ අනුපාතය 40:60 වේ)

  8. කිරි දෙවීම අවසානයේ පුඩු තනුක ෆෝමික් අම්ලයේ හෝ ඇසිටික් අම්ලයේ ගිල්වන්න

යන්ත්‍ර මගින් කිරි දෙවීම

ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකි.

කිරි භාජනයට දෙවීම (ගව ගාලේදීම)

කිරි දෙවීමේ යන්ත්‍ර භාවිතයේ සරළම ක්‍රමය මෙය වන අතර දකුණු ආසියාවේ දැනට වැඩිපුරම භාවිතා වන ක්‍රමයයි. භාජනයට කිරි දොවන යන්ත්‍රයේ ප්‍රධාන කොටස් පහත රූපයේ දැක්වේ. නම්කර ඇති කොටස් වලට අමතරව මේ සඳහා අව පීඩන (වැකුම්) ඒකකයක් (මෝටරය, පොම්පය, අවපීඩන ටැංකිය), අවපීඩන පාලකයක් සහ වැකුම් මීටරයක් අවශ්‍ය වේ. ක්ලස්ටරයේ (cluster) සිට සෘජුවම කිරි දිගු කිරි නාලය ඔස්සේ කිරි බාල්දියට ගැලීම සිදුවේ. භාජනයේ ධාරිතාවය ලීටර 20 ක් පමණ වන අතර භාජනය පිරුනු පසු එය හිස් කළ යුතු අතර අවපීඩනයද නිදහස් කළ යුතුය. මෙම ක්‍රමය කුඩා පට්ටි වල සහ අලූත පැටවු දැමූ දෙනුන් සිටිනා පට්ටි වල බහුලව භාවිතා කරයි.

යන්ත්‍ර මගින් නල පද්ධතියක් ඔස්සේ දෙවීම (ගව ගාලේදී හෝ කිරි දොවන ස්ථානයේදී)

කිරි පට්ටිය විශාල නම් වරින් වර භාජනය හිස් කිරීම සහ වෙනස් කිරීම වැනි වෙහෙසකාරී ක්‍රියාවන් වැලැක්වීම සඳහා සමහර ගොවීන් නල පද්ධති ස්ථාපනය කිරීමට වැඩි කැමැත්තක් දක්වයි.

කිරිදෙවීමේ පරතරය

කිරි දෙවීම් දෙකක් අතර කාල පරතරය පැය 16 ට වඩා වැඩි වූ විට කිරි ශ‍්‍රාවය වීම නිශේදනය වේ. එම නිසා උපරිම කිරි නිෂ්පාදනයක් ලබා ගැනීමට දිනකට දෙවරක්වත් අවම වශයෙන් කිරි දෙවිය යුතුය. දිනකට දෙවරක් කිරි දෙවීමට සාපේක්‍ෂව දිනකට තෙවරක් කිරි දොවන සතුන්ගේ නිෂ්පාදනය 9-15% පමණ වැඩි කරගත හැක.
දිනකට වරක් කිරි දෙවීම දෛනික නිෂ්පාදනය සහ කිරි මුරයේ මුළු නිෂ්පාදනයද අඩු කරයි. අලූත පැටවු දැමූ දෙනුන්ට මෙය වැඩිපුර බලපායි. කලාතුරකින් වරක් කිරි දෙවීම මග හැරීම ඇති කරනුයේ සුළු බලපෑමකි. එවැනි තත්ත්වයන්හි බලපෑම දින 2-3 කාලයකදී මග හැරෙයි

දෙවීමේ පිළිවෙල

පළමුව පළමු කිරි මුරයේ සතුන්, දෙවනුව බුරුළු ප්‍රදාහය නොවැලඳුනු සතුන් හා ඉන් පසුව පෙර බුරුළු ප්‍රදාහය වැළඳුන සහ බුරුළු ප්‍රදාහය වැළඳී ඇතැයි සැක කරන සතුන්ගේ කිරි දෙවීම සිදු කරයි.

ආහාර හා පෝෂණය

ආහාරයක පෝෂණ ගුණය සාමාන්‍යයෙන් ගණනය කරනුයේ එහි ඇති පෝෂක සංඝටක ප්‍රමාණයට අනුවය. සාමාන්‍යයෙන් ආහාර රළු හා සාන්ද්‍ර ආහාර ලෙස වර්ග කළ හැක. රළු ආහාර ලෙස තෘණ (ස්වභාවික හා උසස් කළ), බිම දුවන වැල්, රනිල (උදා: සිරාට්‍රෝ, සෙන්ට්‍රො), රනිල ගස් (උදා: ග්ලිරිසීඩියා, ඉපිල් ඉපිල්) සහ රනිල නොවන ශාක (උදා: කොස් සහ අඹ) ගස් සහ පඳුරු සහ කෘෂිකාර්මික (පිදුරු) සහ කෘෂි-කර්මාන්ත අතුරු නිෂ්පාදන (සෝයා පොතු, baggase) ගත හැක. පොල් පුන්නක්කු, සහල් නිවුඩු සහ ධාන්‍ය ආදිය සාන්ද්‍ර ආහාර ලෙස භාවිතා කළ හැක.


ආහාර ආගනුව

එක සතෙකුගේ දෛනික පෝෂණ අවශ්‍යතාවය අනුව ආහාර ආගනුව වෙනස් වන අතර ආහර එක කිලෝග‍්‍රෑමයකින් සපයන පෝෂණ ප්‍රමාණය සම්පූර්ණ අවශ්‍යතාවන් බෙදීමෙන් දිනකට අවශ්‍ය වන ආහාර ප්‍රමාණය සරලව ගණනය කළ හැක. සාමාන්‍යයෙන් ආහාර සැපයීමේදී ආහාර වර්ග දෙකක් හෝ කීපයක් එකට මිශ්‍ර කර සැපයීමට සිදු වේ. වඩාත් සුදුසු ආහාර මිශ්‍රණය තෝරා ගැනීම ගොවිපල පාලකයා මගින් විසින් සිදු කළ යුතුය. මෙය පෝෂක ප්‍රමාණය, බහුලතාවය සහ මිල හෝ පිරිවැය මත රඳා පවතී.

වැඩෙන සතුන් සඳහා ආහාර

සරල ලෙස ආහාරයක් රළු හා සාන්ද්‍ර ලෙස ප්‍රධාන කොටස් 2කට බෙදා ඇත. නමුත් විවිධ ආහාර වර්ග අතුරින් තම ප්‍රදේශයේ බහුල දේ්වල් ගොවිපල පාලකයාගේ කැමැත්ත පරිදි තෝරාගත හැක.

කිරි දෙන සතුන් සඳහා ආහාර

කිරි දෙන සතුන් සඳහා ආහාර සැකසීමේදී, ශරීර නඩත්තුවට (ශරීර බර මත රඳා පවතී) සහ කිරි නිෂ්පාදනයට (කිරි අස්වැන්න සහ මේද ප්‍රමාණය) අවශ්‍ය පෝෂක ප්‍රමාණයන් සැලකිල්ලට ගත යුතුය. වැඩි දුරටත් ආහාරයේ ඇති සතුන්ට ලබාගත හැකි පෝෂණ අගය පිළිබඳ සැලකිය යුතුය.


ආහාර වර්ග කිහිපයක් තේරීම, සතුන්ට අනුපාතයන්ට අනුව අවශ්‍ය පෝෂණය ලැබෙන අයුරින් ඒවා මිශ්‍ර කිරීම, සහ සතුන්ට අවශ්‍ය පෝෂණය අවම පිරිවැයක් යටතේ ලබාදීම යන කරුණු සත්ව ආහාර සැකසීමේදී වැදගත් වේ. එම නිසා මිශ්‍ර ආහාර සැකසීමේදී, ආහාර වල බහුලතාව, මිල සහ ආහාරයේ සංඝටක පිළිබඳ දැනුම අවශ්‍ය වේ.


කිරි දෙන සතුන් සඳහා නිදසුන් ආහාර ආගනුවක් පිළියෙල කිරීම

කි.ග්‍රෑ. 350 ක් බර ගැබිණි දෙනකගේ දිනක කිරි නිෂ්පාදනය ලීටර් 8 ක් සහ එහි මේද ප්‍රතිශතය 3.7% ක් ලෙස උපකල්පනය කරන්න. කිරි ගොවියාට ගිනි තෘණ (වයස මාස 1), පොල් පුන්නක්කු සහ යූරියා මොලෑසස් ඛණිජ අතිරේකය ලබා ගත හැකි නම්, දෛනික පෝෂක අවශ්‍යතාවය සපිරෙන ආහාර ආගනුවක් පිළියෙල කර ගන්නා අන්දම පහත විස්තර කෙරේ.

පළමු පියවර

වගු අංක 3 ට අදාලව දෙනගේ TDN සහ DCP අවශ්‍යතාවයන් ගණනය කරන්න.
මේද ප්‍රතිශතය 3.7% ක් වූ සහ කිරි නිෂ්පාදනය ලීටර 8 ක් වූ කි.ග්‍රෑ. 300 ක් බර දෙනකට TDN ග්‍රෑම් 6100 ක් සහ DCP ග්‍රෑම් 900 ක් අවශ්‍ය වේ (වගුව 10.3).
සෑම වැඩිවන කි.ග්‍රෑ. 50 ටම අමතර TDN සහ DCP පිළිවෙලින් +300 සහ +25 ක් අවශ්‍ය වේ.
එම නිසා කි.ග්‍රෑ. 350 ක් බර කිරි ලීටර 8 ක් වූ දෙනකට TDN ග්‍රෑම් 6400 ක් සහ DCP ග්‍රෑම් 925 ක් අවශ්‍ය වේ.

දෙවන පියවර

ඔබ සතුව ඇති ආහාර පල පෝෂණ අගයයන් වගු අංක 4 භාවිතයෙන් ගණනය කරන්න.

තෙවන පියවර : ආහාර ආගනුව සැකසීම

 

TDN (ග්‍රෑ)

DCP (ග්‍රෑ)

ගිනි තෘණ - 1kg

116

19

ග්ලිරිසීඩියා (වැටමාර) 1kg 142 50
පොල් පුන්නක්කු 1kg 683 148
යූරියා මොලෑසස් බහු පෝෂණ මිශ්‍රණය (UMM) 1kg 764 46

 

සතා ලබාගත් වියලි ද්‍රව්‍ය බර (කි. ග්‍රෑ)

TDN (ග්‍රෑ)

DCP (ග්‍රෑ)

උලා කන හෝ කපා ගෙනැවිත් දෙන ගිනි තෘණ කි. ග්‍රෑ. 40

8.4

4640

760

ග්ලිරීසීඩියා කි. ග්‍රෑ. 3 0.7 426 150
තෘණ මගින් සැපයෙන පෝෂක

9.1

5066

910

සටහන් :

  • දේහ බර කි. ග්‍රෑ. 350 ක් වූ දෙනකට උපරිම වියලි ද්‍රව්‍ය ලබා ගත හැකි ප්‍රමාණය ශරීර බරින් 3% කට සීමා වේග එම ප්‍රමාණය කි. ග්‍රෑ. 10.5 කි. දෙනගේ ග්ලිරිසීඩියා සහ තෘණ ආහාරයට ගැනීම කි. ග්‍රෑ. 9.1 වන නිසා, ඉතිරිව ලබාගත යුතු වියලි ද්‍රව්‍ය ප්‍රමාණය කි. ග්‍රෑ. 1.4 කි. රූමනයේ ඉඩ ප්‍රමාණය සීමා වීම දළ ආහාර ලබාදීමේ පමණක් දක්නට ලැබේ. ඉහල ගුණාත්මයෙන් යුත් සාන්ද්‍ර ආහාර හෝ යූරියා මොලෑසස් බහු පෝෂක මිශ්‍රණය කෑමට දුන් විට දෙනට මෙම ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක ආහාර ගත හැක.

  • මෙම නිදසුන අනුව TDN ග්‍රෑ. 1334 ක අවශ්‍යතාව (6400-5066) පියවා ගැනීමට ආහාරයට තුන්වන සංඝටකයක් ඇතුළත් කළ යුතුය. රූමනයේ ඉඩ ප්‍රමාණය සීමා සහිත වීම නිසා පොල් පුන්නක්කු හෝ UMM වැනි සාන්ද්‍ර ආහාරයක් ලබා දිය යුතුය. එබැවින් මෙම නිදසුනේ දක්වා ඇති කිරි ගොවියාට විකල්ප දෙකක් ඇත.

  • DCP අවශ්‍යතාවය වන ග්‍රෑ. 925 ආසන්න වශයෙන් තෘණ හා ග්ලිරිසීඩියා මගින් සැපයෙනු ඇත.

සිව්වන පියවර

TDN ග්‍රෑ. 1334 අවශ්‍යතාව සපුරාලීම,

  • 1334/683 - පොල් පුන්නක්කු කි.ග්‍රෑ. 1.93
    හෝ
  • 1334/784 - UMM කි.ග්‍රෑ. 1.75

අවසන් සාධකය වන්නේ ආර්ථිකව වාසිදායක මාර්ගයයි. UMM හෝ පොල් පුන්නක්කු භාවිතය දිස්ත්‍රික්කය හෝ පළාත අනුව ආර්ථික සාධනයට බලපායි. මෙය එක් නිදසුනක් පමණක් වන අතර සැබෑ තත්ව යටතේදී ගොවිපල ආශ්‍රිතව ඇති විවිධ වර්ගයේ ආහාර භාවිතා කිරීමට කිරි ගොවියාට හැකි වේ.

ගවයින් ආශ්‍රිත සුලභ රෝග හා ආබාධ

රෝගය

රෝග ලක්ෂණ

වලක්වා ගැනීම

ප්‍රතිකාර

වට පණු (විශාල) පැටවුන්ට පමණක් වැලඳේ. වර්ධනය බාල වීම සහ රෝගී බව. ආහාර මාර්ගය අවහිර වීම. ක්‍රමානුකූල පණු මර්ධනය ක්‍රමානුකූල පණු මර්ධනය (උදා. පිපෙරසින්)
වට පණු (කුඩා) නීරක්තිය, පාචනය, ආහාර අරුචිය, උදරය ඉදිමීම ක්‍රමානුකූල පණු මර්ධනය, ආහාර පෑගීමෙන් වැලක්වීම, පිරිසිදු බව ක්‍රමානුකූල පණු මර්ධනය (උදා. නිල්වර්ම්)
බැබිසියාව
(රත්පැහැ මුත්‍රා පිටවීම)
අධික උණ, රුධිරය මිශ්‍ර මුත්‍රා පිටවීම. ආහාර නොගැනීම. මැක්කන් හා කිනිතුල්ලන් පාලනය (උදා. සුපෝනා) කලින් ප්‍රතිකාරය
(උදා. බෙරනිල් සහ ටෙට්‍රාසයික්ලින්)
කුර හා මුඛ රෝගය
(
FMD)
මුඛය, කුර සහ තන පුඩු තුවාල වීම, මුඛයෙන් ශ්ලේෂ්මල ගැලීම, ආහාර නොගැනීම. අඛණ්ඩව මාස 6 ට වරක් එන්නත් ලබා දීම. ප්‍රතිකාර නොමැත. තුවාල සහ උණට ප්‍රතිකාර කරන්න. ප්‍රතිජීවක භාවිත කළ හැක.
(HS) Haomarhasic Septicuemia අධික උණ, ස්වශන අපහසුතා, කෙළ වැගිරීම අඛණ්ඩව මාස 6 ට වරක් එන්නත් කිරීම, නිරෝගී සතුන්ගෙන් වෙන් කර තැබීම. උදා. ටෙට්‍රාසයික්ලින් භාවිත කරන්න.
ක්ෂය රෝගය විවිධ වේ. කැස්ස හෝ හති දැමීම. පාචනය රෝගී සතුන් මැරීම නැත.
නිම්මෝනියාව HS වලට සමානයි. සිසිල් තෙත් සුළඟින් ඉවත් කර තබන්න. ටෙට්‍රාසයික්ලින් මගින් ප්‍රතිකාර කරන්න.
ඇන්ත්‍රැක්ස් අධික උණ, ස්වසන අපහසුතා, ක්‍ෂණික මරණය සහ මුඛයෙන් හා ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම. අවුරුදු පතා අඛණ්ඩව එන්නත් ලබාදීම, ගව පට්ටියේ අනෙක් සතුන් ටෙට්‍රාසයික්ලින් හෝ පෙනිසිලින් අධික මාත්‍රා වලින් ප්‍රතිකාර කිරීම, පශ්චාත් මරණ පරීක්ෂණ නොකරන්න. පරිස්සමින් භූමදානය කරන්න. කල්තියා හඳුනා නොගතහොත් ප්‍රතිකාර නොමැත.
කාලගාත්‍රා රෝගය අධික උණ, ඉදිමුණු පාද සහ සමට යටින් වාතය පිරී තිබීම, ස්වසන අපහසුතා වාර්ෂිකව එන්නත් කිරීම, පට්ටියේ අනෙක් සතුන්ට ද ටෙට්‍රාසයික්ලින් හෝ පෙනිසිලින් අධික මාත්‍රා වලින් ප්‍රතිකාර කිරීම, පශ්චාත් මරණ පරීක්ෂණ නොකරන්න. පරිස්සමින් භූමදානය කරන්න. කල්තියා හඳුනා නොගතහොත් ප්‍රතිකාර නොමැත.
පිටගැස්ම හකුවල තද භාවය, මුඛය විවෘත කිරීම, බෙල්ල හැරවීම සහ වලිගය සෙලවීම අපහසු වීම. අලුත උපන් පැටවුන්ගේ පෙකනිය ගිල්වීම. හොඳ සනීපාරක්ෂාව, මල සතුන් වහාම භූමදානය කිරීම. පෙනිසිලින් මගින් ප්‍රතිකාර කරන්න
Rinderpest උණ, මුඛයෙන් සහ ඇස් වලින් ස්‍රාවයන් පිටවීම, ආහාර නොගැනීම, කැස්ස සහ පාචනය, මුඛයේ, නාසයේ සහ දිවේ තුවාල වයස මාස 6 දී සහ වැඩුනු වියේදී එන්නත් ලබාදීම. ප්‍රතිකාර වලට ප්‍රතිචාර නොදක්වයි.
ගව ගබ්සා රෝගය
(Brucellosis)
ගැබට මාස 5-8 අතර පැටවා ගබ්සා වීම සහ වැදෑමහ රැඳීම හෝ ප්‍රබල හඳුනාගත හැකි ලක්ෂණ නොමැති වීම මාස 6 දී සහ වැඩුනු වයසේදී එන්නත් කිරීම. කලලය වැලලීම සහ රෝගී සතුන් විනාශ කිරීම. කිරි පැස්චරිකරණය කිරීම. ප්‍රතිකාර නැත.
Retained Placenta (retained after birth) වැදෑමහ ඉතිරිවීම, පැටවා දැමීමෙන් පසු කුණු ගඳ සහ ක්‍ෂයවීම. පැටවා දැමීමේදී ප්‍රමාණවත් පෝෂණය සහ සනීපාරක්ෂාව, පැටවාට උපතේදී සහය දීම, පැටවාට මවගෙන් කිරි ඉරීමට සැලැස්වීම. ප්‍රතිජීවක මගින් ප්‍රතිකාර කිරීම, (උදා. සල්ෆා, ටෙට්‍රාසයික්ලින්), අවශ්‍ය නම් වැදෑමහ ඉවත් කිරීම.
කිරි උණ ඇවිදීමේ අපහසුතා, අවස්ථා 3 කි.
  • වැනි වැනි සිට ගැනීම
  • පපුව බිම වදින සේ වැතිරීම
  • පැත්තට සහ ප්‍රතිචාර නොදක්වමින් වැතිර සිටීම.
හේතුව - රුධිර Ca මට්ටම පහල බැසීම.
යථා තත්ත්වයට පත් වනතුරු කිරි දෙවීම නැවැත්වීම, ලක්ෂණ පහල වූ විගස Ca එන්නත් කිරීම, සාමාන්‍යයෙන් 1 වරක් ප්‍රමාණවත් වේ. කැල්සියම් ග්ලූකොනේට් එන්නත. වියලි කාලයේදී අධික Ca ආහාරයට දීම වැලැක්වීම.
Ketosis කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය ගැටළු ඇතිවීම, ප්‍රසූතියෙන් පසු දෙන දුර්වල වීම සහ ක්‍ෂය වීම, සාමාන්‍යයෙන් අධික නිෂ්පාදනයක් හෝ මහත දෙනුන් අතර දැකිය හැක. ප්‍රසූතියේදී අධිකව මහත්වීම වැලැක්වීම. යථා තත්ත්වයට පත් වනතුරු ග්ලුකෝස් එන්නත් කිරීම, අවශ්‍ය පමණ සාන්ද්‍ර ආහාර ලබා දීම.
බුරුළු ප්‍රදාහය බුරුල්ල ඉදිමීම, දුර්වර්ණ කිරි, කිරි කැටිති තිබීම, උණ, ආහාර නොගැනීම. පිරිසිදු නිවාස, යහපත් දෙවීමේ ක්‍රම, සම්පූර්ණයෙන් දෙවීම හෝ පැටවාට ඉරීමට සැලැස්වීම, විෂබීජ නාශකයක් මගින් බුරුල්ල සේදීම. බුරුල්ල පිරිසිදු කර රෝගී පුඩු වලින් පැය 2-3 කට වරක් කිරි දෙවීම, උණු සහ ඇල් ජලයෙන් බුරුල්ල සේදීම, එන්නත් මගින් ප්‍රතිකාරය.
Naval ill ආහාර නොගැනීම, මුත්‍රා කිරීමේදී වේදනා ඇතිවීම, පෙකනිය ඉදිමීම සහ සැරව තිබීම. උපතේදී පෙකනිය අයඩීන් වල ගිල්වීම, නිතර පෙකනිය පරීක්ෂාව විෂබීජ නාශක මගින් පිරිසිදු කිරීම, පණුවන් ඉවත් කිරීම, ointment භාවිතය
Ring worm සම මත වියළි වෘත්තාකාර ප්‍රදේශ, රෝම ගැලවීම, grayness පිරිසිදු වියලි ගව නිවාස, රෝගී සතුන් තනි කිරීම අයඩින් හෝ වෙනත් දිලීර නාශක මගින් ප්‍රතිකාර කිරීම.
බඩ පිපුම ආහාර නොගැනීම, රූමනය ඝන වීම සහ ඉදිමීම, වමාරා කෑම නැවැත්වීම, සතා බිම වැතිරීම සහ ඉක්මන් මරණය ලපටි ආහාර ආධිකව දීම වැලැක්වීම, (නැවුම් රනිල ආහාර භයානක විය හැක) නැවුම් ආහාර දීමට පෙර වියලි ආහාර ලබාදීම. ඛනිජ තෙල් ලබාදීම, දිවීමට සැලැස්වීම, පිහියකින් හෝ “ට්‍රොකා” මගින් රූමනය සිදුරු කිරීම.
ජොන්ගේ රෝගය දුර්ගන්ධ පාචනය, ප්‍රතිකාර වලට ප්‍රතිචාර නොදක්වයි. දෙන ක්‍ෂය වේ. රෝගී සතුන් වෙන් කිරීම, රෝගයට ගොදුරු වී ගොවිපොලවල් නිරෝධායනය සහ රෝගී සතුන් විනාශ කිරීම. ප්‍රතිකාර නොමැත.
පිස්සු ගව රෝගය (උමතු ගව රෝගය) පාලනය කිරීමට අපහසු වීම, ආක්‍රමණශීලී වීම, ක්‍රමක්‍රමයෙන් අංශභාගය වැලඳීම, මරණය වාහකයන් පාලනය, මැරීම, වසංගතයකදී එන්නත් ලබා දීම. ප්‍රතිකාර නොමැත
ප්‍රකාශන නිර්මාණය:- ආචාර්ය බරණ ජයවර්ධන