වගා පද්ධති

හැඳින්වීම

විවිධ අන්තර් සම්බන්ධතා මත එකිනෙක මත යැපෙන කෘෂිකාර්මික ව්‍යවසායන් කිහිපයක් විද්‍යානුකූලව සමෝධානිත කල විට එය වගා පද්ධතියක් ලෙස හැඳින්වේ. මෙහි අරමුණු වන්නේ කාර්යක්‍ෂම ලෙස භූමිය, ශ‍්‍රමිකයන් සහ අනෙකුත් සම්පත් ගොවි පවුලක් තුල භාවිතා කිරීමත්, එමගින් වසර පුරාම ආදායම් ඉපයීමත් වේ. මෙය විවිධ මට්ටම් වලින් ක‍්‍රියාත්මක වන දේශපාලන, ආර්ථික, සමාජයීය සහ ආයතනික බලවේග මත තීරණය වේ.

වගා පද්ධති සඳහා උදාහරණ

හේන් ගොවිතැන

මෙහිදී තෝරා ගන්නා ලද බිම් කොටසක් තාවකාලිකව වගා කර අස්වනු නෙලීමෙන් අනතුරුව අතහැර දමනු ලැබේ. මෙහිදී කැලෑ ප‍්‍රදේශයක් එලි පෙහෙලි කර වසර කීපයක් පුරා දැව හෝ කෘෂි භෝග අස්වනු නෙලීම පසෙහි සාරවත් බව අඩු වන තුරු නොනවත්වා සිදු කරයි. බෝග නිෂ්පාදනය සඳහා එම භූමිය තවදුරටත් සුදුසු නොවන අවස්ථාවේදී ස්වභාවික ශාක ගහණයන්ට වැඞීමට ඉඩ හරියි. ඇතැම් විට වගා කිරීමට පෙර විශාල ගස් කපා දමා සම්පූර්ණ භූමියම ගිනි තැබීමද සිදු කරයි.

උඩරට එළවළු වගාව ආශ‍්‍රිත එළවළු වගා පද්ධතිය

මෙය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ලෙසම එළවළු නිෂ්පාදනය කරන වගා පද්ධතිය වේ. ශීත දේශගුණයක් පවතින නුවරඑලිය වැනි ප‍්‍රදේශවල එම දේශගුණයට ඔරොත්තු දෙන සෞම්‍ය කලාපීය එළවළු මෙහි වගා කෙරේ. බීජ ඇතුළු බොහෝ අමුද්‍රව්‍ය පිටරටින් ආනයනිත ඒවා වේ. අධික ලෙස රසායන ද්‍රව්‍ය භාවිතය මෙහි එකි ලක්‍ෂණයකි. අධික බෑවුම් සහිත භූමිය ඉතා කුඩා පාත්ති ලෙස සකසා පාංශු සංරක්‍ෂණ ක‍්‍රම භාවිතා කරමින් දිගින් දිගටම වගා කටයුතු සිදු කරයි. විශේෂයෙන්ම ද්‍රවිඩ කාන්තා ශ‍්‍රමය මෙහිදී යොදා ගනී. මෙම වගා පද්ධතිය ශ‍්‍රී ලංකාවේ උඩරට එළවළු අවශ්‍යතාවය පූර්ණ ලෙස සපුරාලයි.

පහතරට වී ගොවිතැන ආශ‍්‍රිත එළවළු වගා පද්ධතිය

ශ‍්‍රී ලංකාවේ පහතරට වියලි කලාපයට ප‍්‍රමාණවත් වර්ෂාවක් ලැබෙන මහ කන්නයේදී ප‍්‍රධාන ලෙස වී වගාව සිදු කරයි. ජලය ප‍්‍රමාණවත් නොවන යල කන්නයේදී ගොවීන් එළවළු සඳහා යොමු වේ. මෙහිදී පසෙහි ඇති තෙතමනය හා සාරවත් බව ප‍්‍රයෝජනයට ගන්නා අතර අමතරව පොහොර හා ජලය යොදන්නේ කලාතුරකිනි.

වගා ළිං ආශ‍්‍රිත එළවළු වගා පද්ධතිය

ශ‍්‍රී ලංකාවේ වියලි කලාපයේ හා අතරමැදි කලාපයේ වියලි කාලවලදී ජලය රැුස් කර තබා ගැනීම අත්‍යාවශ්‍ය වේ. භූගත ජලය රැුස් කිරීම සඳහා වගා ළිං භාවිතා වේ. වගා ළිං වල ඇති ජලය භාවිතා කර සිදු කරන එළවළු භෝග වගාවේදී ඇතැම් දුෂ්කරතා මතු වී තිබේ. එකම භූමිය තුල ජලය සංසරණය වන බැවින් පසට එකතු කරන ඇතැම් රසායන ද්‍රව්‍ය භූගත ජලය සමග මිශ‍්‍ර වීම එක් ගැටළුවකි.

කෘෂි වන වගා ආශ‍්‍රිත පද්ධතිය

උදාහරණයක් ලෙස උඩරට වන වගා ආශ‍්‍රිත එළවළු භෝග වගාවේදී ස්වභාවික පරිසරයේ අමුද්‍රව්‍ය සහ නිවෙස් වලින් බැහැර කරන අපද්‍රව්‍ය පමණක් භාවිතයෙන් නිවසේ පරිභෝජනය සඳහා පමණක් අවශ්‍ය තරම් එළවළු බෝග වගා කෙරේ.

ආරක්‍ෂිත බෝග වගාව

වටිනාකමින් වැඩි උසස් තත්ත්වයේ බෝග වර්ග ආරක්‍ෂිත ගෘහ තුල වගා කිරීම මෙහිදී සිදු කරයි. බාහිර පාරිසරික ව්‍යසනයන්ගෙන් බෝග වලට සිදුවිය හැකි හානි උපරිම මට්ටමෙන් අවම කර ගැනීම සඳහාත්, උසස් ගුණාත්මයෙන් යුතු උපරිම අස්වැන්නක් ලබා ගැනීම සඳහා බෝග වලට ප‍්‍රශස්ථ මට්ටමින් අවශ්‍යතා සැපයීම සඳහාත් ආරක්‍ෂිත බෝග වගාව භාවිතා වේ. මෙහිදී නවීන බෝග වගා ක‍්‍රම භාවිතා කරයි.

හඳුනා ගැනීමේ ලක්‍ෂණ සහ සීමාකාරී සාධක

ඉහත එක් එක් වගා පද්ධති වල හඳුනා ගැනීමේ ලක්‍ෂණ සහ සීමාකාරී සාධක එම බෝග වගා පද්ධති විස්තර කිරීමේදී වෙන්කර හඳුනා ගත හැක.

වගා පද්ධති විශ්ලේෂණය

එක් එක් වගා පද්ධති විස්තර කිරීමේදී ඒවායේ පවතින ශක්‍යතාවයන් (Strengths) දුර්වලතා (Weaknesses), අවස්ථා Opportunities) සහ අවදානම් තත්ත්වයන් (Threats) වෙන් වෙන්ව හඳුනා ගත හැක. ඒවා විශ්ලේෂණය කිරීමෙන් ඉහත වගා පද්ධතිවල අනාගතය පිලිබඳව අනාවැකි ප‍්‍රකාශ කිරීමේ හැකියාවද ඇත.

 

ප්‍රකාශන නිර්මාණය:- ...................................................................