තිරසාර සහ ආර්ථිකව ඵලදායී කෘෂිකර්මයක්උදෙසා නවීන තාක්ෂණයේ දායකත්වය

හැඳින්වීම


බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් ශ්‍රී ලංකාව නිදහස ලැබූ 1948 වකවානුව වනවිට, අපි ප්‍රධාන වශයෙන් කෘෂි ආර්ථිකයකට උරුමකම් කී රටක් විය. එවකට ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තය ප්‍රධාන වශයෙන් අපනයන කෘෂිකර්මාන්තය සහ යැපුම් කෘෂිකර්මාන්තය යනුවෙන් කොටස් දෙකකට වෙන්ව පැවතුනි. එනමුදු මෙම ප්‍රධාන අංශ දෙක අතර සම්බන්ධතාවය පැවතියේ ඉතා දුර්වල තත්ත්වයකය. එවකට රටේ මුලූ ජනගහනයෙන් 85% ක් පමණ ග්‍රාමීය පෙදෙස් වල වාසය කළ අතර කෘෂිකර්මය සහ ඒ ආශ්‍රිත ක්‍රියාවලීන් ඔවුන්ගේ ජීවනෝපාය විය.

 

අප රට නිදහස ලැබූ වකවානුවේදී, කෘෂිකර්මාන්තය ප්‍රධාන වශයෙන් පුද්ගලික අංශය මත රඳා පැවතුනි. යැපුම් කෘෂිකර්මාන්තය ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර බෝග, එනම් වී, කුරක්කන්, බතල සහ බඩ ඉරිඟු මතත් රඳා පැවතුනු අතර, අපනයන කෘෂිකර්මාන්තය තේ, රබර්, පොල් යන ප්‍රධාන වැවිලි බෝග මත සහ කුරුඳු, ගම්මිරිස්, කොකෝවා සහ කෝපි වැනි සුළු අපනයන බෝග මත රඳා පැවතුනි. මෙම අපනයන බෝග රටේ දළ ජාතික නිෂ්පාදනයට 33% පමණ දායකත්වයක් ලබා දුනි.

 

පශු සම්පත් කර්මාන්තය, රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ එක් වැදගත් අංගයක් වුවද, පසුගිය දශක කිහිපය මුළුල්ලේ එයට ලැබී තිබුනේ කුඩම්මාගේ සැලකිලිය. මත්ෂ්‍ය නිෂ්පාදන කර්මාන්තයද මෙසේ වැඩි අවධානයක් යොමු නොවී තිබූ ක්ෂේත්‍රයකි. එනමුදු මෑත කාලය තුළ රටේ ජාතික ප්‍රතිපත්තීන්ට අනුව, සමස්ථ කෘෂිකර්මාන්තයට වැඩි අවධානයක් යොමුවී තිබෙනු දැකීම සතුටට කරුණකි.

 

 

නිදහසෙන් පසු පැවතුනු සියලූම රජයන් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික දියුණුව අපේක්‍ෂාවෙන් යටිතල පහසුකම්, වාරි ජල පහසුකම්, කෘෂිකාර්මික ණය පහසුකම්, යෙදවුම් සහ ව්‍යාප්ති සේවාවන් සඳහා ආයතනික ව්‍යුහයන් ඇතිකිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹින. විවිධ වකවානු තුළදී කෘෂි නිෂ්පාදන වල මිල තීරණය කිරීම, මිලදී ගැනීම සහ වෙළඳාම කෙරෙහි රජය යොමු විය. අත්‍යාවශ්‍ය ආහාර ආනයනය කිරීම සහ ඒවා බෙදාහැරීමටද ලක් රජය මැදිහත් වී ඇත.


පසුගිය දශක 6ක කාලය තුළදී, දේශීය කෘෂිකර්මාන්තය යැපුම් මට්ටමෙන් බොහෝ සේ ඈත්වී ඇත. 1977 වසරේදී පටන් රට තුළ ක්‍රියාත්මක වූ නිදහස් ආර්ථික ප්‍රතිපත්තීන්ට අනුව, කෘෂිකර්මාන්තයද වානිජකරණයට ලක් විණි. එනමුදු, ජාතික සංවර්ධන ඉලක්කයන් සැසඳීමේදී, කෘෂිකර්මාන්තය බලාපොරොත්තු වූ සංවර්ධන ඉලක්කයන් කරා ළඟා වී නැති බව පෙනී යයි.

;

නිදහස ලැබීමෙන් පසු ලාංකීය ආර්ථිකය දෙස හැරී බැලීමක්

ශ්‍රී ලාංකීය ආර්ථිකයට කෘෂිකර්මයේ දායකත්වය


ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයට කෘෂිකර්මාන්තයේ දායකත්වය පසුගිය දශක 6ක කාලසීමාව තුළ පහත බැස ඇත.

(වගුව 1 - මෙය සජීවීකරණය කරන්න)

ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයට සමස්ථ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ (පශු සම්පත් සහ මත්ෂ්‍ය කර්මාන්තයද ඇතුළුව) දායකත්වය 1950 දී 46.3% ක් වූ අතර, 1996 දී එය 22.4% ක් ද, 2008 වසරේදී 13.8 ක් ද 2010 දී 12.8% ක් ද දක්වා පහත බැස තිබිණ.

කාලයට අනුව වෙනස් වූ ජාතික ප්‍රතිපත්තීන් මගින් කෘෂිකර්මාන්තයට වූ බලපෑම්.

රටේ කෘෂිකාර්මික වර්ධන වේගය පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු ප්‍රමාණයෙන් වෙනස්වීම් වලට භාජනය විය. ලෝක ආර්ථිකය තුළ පැන නැගුනු තත්ත්වයන් මෙයට එක් ප්‍රධාන හේතුවක් වේ. 2006 වසරේදී 6.3% ක් වූ රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වර්ධන වේගය, 2007 වන විට 3.3% දක්වා පහත වැටුනි. එනමුදු රාජ්‍ය ප්‍රතිපත්තීන්ගේ සිදුවූ විශේෂිත වූ වෙනස්වීම් වලට අනුව,

එනම් 2007 වසරේදී එලි දැක්වුනුජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ජාතික පශු සම්පත් සංවර්ධන ප්‍රතිපත්තියට අනුකූලව, අපි වවමු-රට නගමු සහ ක්‍ෂීර විප්ලවය යන ජාතික වැඩසටහන් යටතේ, 2008 වසරේදී ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වර්ධන වේගය 7.5% ක් දක්වා වූ ඉහල අගයක පැවතුනි.

 

මීට සමගාමීව පශු සම්පත් ක්ෂේත්‍රය 2007 වසරේදී 7.9% සහ 2008 දී 9.9% ක වර්ධන වේගයක්ද දක්වා තිබුණි. පශු සම්පත් සහ මත්ෂ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍ර වල 2008 වසරේදී සිදුවූ පසුබෑම උතුරු-නැගෙනහිර පළාත්වල එවකට තිබූ අනාරක්‍ෂිත තත්ත්වය දැඩිව බලපා තිබුණි. 2010 වසරේදී මෙම සමස්ත කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වර්ධනය 2009ට සාපේක්ෂව 7.0% ක්ව පැවතුණි.කෘෂිකර්මාන්තයේ නියුතු ශ්‍රම බලකායද 1946 දී වාර්තා වූ 53% සිට 2010 දී 32.7% දක්වා පහත බැස ඇත. එනමුදු කර්මාන්ත සහ සේවා අංශයන් සමග සැසඳීමේදී, කෘෂිකර්මාන්තය තුළ තවමත් රටේ ශ්‍රම බලකායෙන් සැලකිය යුතු ප්‍රමාණයක් යෙදී සිටින බව පැහැදිලිය.

සාම්ප්‍රදායික සහ නවීන තාක්‍ෂණය මුසු වූ කෘෂිකර්මාන්තය

නිදහස ලැබූ දා පටන් කාලය දෙස ආපසු හැරී බැලීමේදී, අප රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ විවිධ වෙනස්වීම් කාලානුරූපීව සිදුවී ඇති බව පැහැදිලි වේ. 1960 දශකයේදී, අනාගත ලෝක ආහාර අර්බුධයකින් ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින්නාවූ රටවලට “හරිත විප්ලවය” සංකල්පය යටතේ නව දියුණු කරන ලද වැඩි අස්වැන්නක් දෙන බෝග ප්‍රභේදයන් හඳුන්වා දීමත් සමග සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයෙන් බැහැරව නව තාක්‍ෂණික ක්‍රමෝපායයන් කෙරෙහිත් අමතර යෙදවුම් කෙරෙහිත් යොමු වීමට අපට සිදුවිය.

1977 න් පසු ක්‍රියාත්මක වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තීන්ට අනුව, පසුගිය දශක 3ක කාලයක් තුළ අප රටේ දේශීය කෘෂිකර්මාන්තය තුළට වෙනත් ආනයනිත තාක්‍ෂණයන්, ප්‍රභේදයන්, සත්ත්ව ආරයන් යනාදිය මුහු වන්නට පටන් ගැනුනි. පටක රෝපණය, ජෛව තාක්‍ෂණය, ආරක්‍ෂිත ගෘහ තුළ බෝග වගාව යනාදිය කෙරෙහි බොහෝ තරුණ පිරිස්වල අවධානය යොමු වෙමින් පවතී.

 


මීට අමතරව ලෝක ආර්ථිකයේ නිරන්තරව සිදුවන්නාවූ වෙනස්කම් වලට සමගාමීව ශ්‍රී ලංකාව තුළද තරුණ පරපුර කෘෂිකර්මාන්තයෙන් ඈත් වන ලකුණු පසුගිය දශක 2ක කාලයක් පුරා පැහැදිලිව දක්නට ලැබුණු කරුණකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රමයන් මතු පරම්පරාවට අහිමි වෙමින් පවතී.


අපේ මුතුන් මිත්තන් විසින් වගා කරන සහ උපයෝගී කරගන්නා ලද බොහොමයක් බෝග ප්‍රභේදයන් හා සත්ව ආහාරයන් මෙන්ම, සාම්ප්‍රදායික කෙම් ක්‍රමයන් අද ප්‍රායෝගික කෘෂිකර්මාන්තයේදී දක්නට නොලැබේ. මෙම පරිසර හිතකාමී මෙන්ම ජෛව විවිධත්වයට හානි නොපමුණුවන තාක්‍ෂණයන් අපෙන් කෙමෙන් කෙමෙන් ඈත් වන්නට පටන් ගෙන ඇත. තරුණ පරම්පරාව නවීන තාක්‍ෂණයට යොමුවීම නොවැලැක්විය හැකි කරුණක් වුවද, සාම්ප්‍රදායික ක්‍රමයන් මෙම නවීන කාක්‍ෂණයන් සමග මුහු කොට ගත් ඒකාබද්ධ කෘෂිකර්මයක් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කළ යුතුව ඇත.

 

කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්‍ෂිතතාවය

රටක ආහාර සුරක්‍ෂිතතාව බෝග සහ සත්ත්ව නිෂ්පාදනයන්හි සුලභතාවය මෙන්ම, එම නිෂ්පාදන අවශ්‍ය තරමට අවශ්‍ය අවස්ථාවට පහසු මිලකට ලබා ගත හැකි වීම මත රඳා පවතී. මෙම ආහාර පෝෂණ ගුණයෙන් සපිරි ඒවා විය යුතු අතර, සෞඛ්‍යාරක්‍ෂිතව නිපදවා තිබිය යුතුය. 1990 වර්ෂයේ සිට ගත් කල ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණයෙන් පෙලෙන ප්‍රතිශතය අඩුවෙමින් පවතින නමුදු, තවමත් 22% පමණ ජනගහණයක් මන්ද පෝෂණයෙන් පෙලෙන බව මෑතකදී වාර්තා වී ඇත. ආහාර සුරක්‍ෂිතතාවය සැලකීමේදී මෙය බරපතල තත්ත්වයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතුව නැත.

රටක ආහාර සුරක්‍ෂිතතාව යනු ජාතික ආරක්‍ෂාවයි. ආහාර සුරක්‍ෂිතතාව, ආහාර ආනයනය කිරීම තුලින් ද උදා කරගත හැකි නමුත්, දේශයක තිරසාර සංවර්ධනයත්, දිගු කාලීන ආහාර සුරක්‍ෂිතතාවයත් සඳහා අත්‍යවශ්‍ය ආහාර අතින් ස්වයංපෝෂිත තත්වයට පත්වීම නිසැකවම කළයුතු කරුණකි. එය ජාතියක් ලෙස අපේ වගකීමක්ද වේ. රටක ආහාර සුරක්‍ෂිතතාව ළඟා කරගත හැක්කේ මනාව සැලසුම් කරන ලද කෘෂිකාර්මික ක්‍රියාවලියක් තුලිනි.

අද රාජ්‍ය ප්‍රතිපත්ති ලෙස ක්‍රියාත්මක වන ”අපි වවමු-රට නගමු” වැඩසටහන තුලින් අරමුණු කරගත් අපේ රටේ වගා කළ හැකි අත්‍යවශ්‍ය බෝග වර්ග 23ක්, මෙම ලැයිස්තුව පසුව වර්ග 36 දක්වා දීර්ඝ කරන ලදී.  වසර 2012 වන විට රට තුළ වගා කිරීම මගින් ඒවා ආනයනය කිරීම නැවැත්වීමත්, ”ක්‍ෂීර විප්ලවය” වැඩසටහන මගින් අප රටේ කිරි අවශ්‍යතාවයෙන් 50% ක් වසර 2015 වන විට නිපදවීමට ගෙන ඇති තීරණයත්, කෘෂිකර්මාන්තය මගින් ආහාර සුරක්‍ෂිතතාවය කරා ළඟා වීමට ඇති හැකියාව මනාව කියා පායි.

 

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ අනාගත ගමන් මග

2007 වසරේදී අප මුහුණ දුන් ලෝක ආහාර අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට එතරම් බලපෑමක් ඇතිවූයේ නැත. එම අර්බුදය ඇති වීමට පෙර පටන් ජාතික ප්‍රතිපත්තිය පෙරමුණු කරගෙන කෘෂිකාර්මික සංවර්ධනය කෙරෙහි යොමු වීමට හැකිවීම එම තත්ත්වයට එක් මූලික හේතුවකි. රටේ අනාගත කෘෂිකාර්මික දියුණුව උදෙසා තිරසාර ප්‍රතිපත්තියක අවශ්‍යතාවය හොඳින් දැනෙන අවධියක අපි සිටින්නෙමු. දැනට ක්‍රියාත්මක කරන ජාතික ප්‍රතිපත්තීන් පිලිබඳව මහ ජනතාව තව දුරට දැනුවත් කිරීමත්, අප යහපත් පුරවැසියන් ලෙසට මෙම කර්තව්‍යයන්ට සකී‍්‍රයව දායක වීමත් ජාතියේ ඉදිරි ගමනට ඉතා වැදගත් වනු ඇත.


මීට අමතරව, හෙට දිනයේ කෘෂිකර්මාන්තය නවීන සහ සාම්ප්‍රදායික තාක්ෂණයත් මනා කළමනාකාරිත්වයත් හොඳින් මුසුවූ ක්‍රියාවලියක් බවට පත්කළ යුතුව ඇත. කෘෂිකර්ම ක්‍රියාවලිය හුදෙක් නිෂ්පාදනයෙන් නොනැවතී, එය පාරිභෝගිකයා දක්වා දිවෙන යාන්ත්‍රණයේ සෑම පුරුකක්ම සම්බන්ධ කරගන්නා ක්‍රියාවලියක් බවට පත්කර ගැනීම අනාගත කෘෂිකර්මාන්තයේ අනාගතය වඩාත් සරු කරනු ඇත. රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වයත් ආයෝජනයත්, නව තාක්‍ෂණය තැනට සුදුසු ආකාරයට හැඩගස්වා යොදාගැනීමත් අනාගත කෘෂිකාර්මික ක්‍රියාවලියේ සාර්ථකත්වයට හේතු වනු ඇත.

ප්‍රකාශන නිර්මාණය:- මහාචාර්ය බුද්ධි මාරඹේ