දේශගුණික විභවයන් හඳුනා ගැනීම


දේශගුණය යනු කුමක්ද?

දේශගුණය යනු වායු ගෝලයේ විවිධ ලක්ෂණයන්ගේ, එනම් වර්ෂාපතනය, උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, සුළ‍ගේ වේගය, වායු පීඩනය, හිරු එළිය සහ සූර්ය විකිරණයන්ගේ දිගු කාලීන හැසිරීමයි. මෙම ලක්ෂණ අතරින් වර්ෂාපතනය, උෂ්ණත්වය,ආර්ද්‍රතාවය,සුළ‍ගේ වේගය, හිරු එළිය සහ සූර්ය විකිරණය යනාදී සාධක කෘෂිකර්මය සම්බන්ධයෙන් බෙහෙවින් වැදගත්ය. දේශගුණය යනු සරලව අප ඉහත ලක්ෂණයන්ගෙන් බලාපොරොත්තු වන අගයන්ය.

 

ශ්‍රී ලංකාවේ දේශගුණය තීරණය කරනු ලබන ප්‍රධාන සාධක කීපයක් හදුනා ගෙන ඇත. ඒවා භූගෝලීය මෙන්ම කාලගුණ විද්‍යාත්මක කරුණු අනුව වෙන් කර ඇත. ඒවා නම් ශ්‍රී ලංකාව

  • ඉන්දියානු උප මහාද්වීපයට මෙන්ම සමකයට ආසන්නව පිහිටීම
  • ඉන්දියන් සාගරයෙන් වටව ඇති කුඩා දිවයිනක් වීම
  • නිතර කාලගුණ වෙනස්වීම් වලට භාජනය වන බෙංගාල බොක්කට ආසන්නව පිහිටීම
  • එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලින් හමන මෝසම් සුළං ප්‍රධාන දෙකකට ලම්බකව, මැද මධ්‍යම කඳුකරයක් පිහිටීම වේ.

 

කාලගුණය යනු කුමක්ද?

කාලගුණය යනු වායුගෝලයේ විවිධ ලක්‍ෂණයන්ගේ, එනම් වර්ෂාපතනය, උෂ්ණත්වය, ආද්‍රතාවය, සුලගේ වේගය, වායු පීඩනය, හිරු එළිය සහ සූර්ය විකිරණයන්ගේ දැනට පවතින තත්වයන්ය. කාලගුණය යනු ඉහත ලක්‍ෂණයන්ගෙන් අපට දැනට ලැබෙන අගයන් වේ.

 

දේශගුණික නිර්නායක බෝග වගාවට බලපෑම

  • වර්ෂාපතනය

කෘෂිකර්මාන්තයේ ප්‍රගතිය හෝ පහත වැටීම හා ශාක ව්‍යාප්තිය තීරණය කරන වැදගත්ම සාධකයකි. බෝග වගාවේ බිම් සැකසීමේ සිට අස්වැන්න නෙලීම දක්වා වැදගත් වන වර්ෂාපතනය නිසි ලෙස ලැබීම උපරිම අස්වැන්නක් ලබාගැනීමට ඉතාමත් වැදගත්ය.

අඩු වර්ෂාව සමග බිම් සැකසීම සිදුකර බීජ පැල සිටුවා පැලයේ උපරිම වර්ධනයේදී වර්ෂා ජලය උපරිමව ලැබී මල් පිපෙන කාලය මද වැස්සක් සමගින් අස්වැන්න නෙලන විට අවම වැස්සක් මගින් හොඳ අස්වැන්නක් ලබාගත හැකිය. බෝගයේ උත්ස්වේදනය හා වාෂ්පීකරණය වර්ෂාව මගින් හොඳ ප්‍රශස්ථ තත්ත්වයක තබා ගනී. බෝග වර්ගය අනුව අවශ්‍ය කරන වර්ෂාපතන ප්‍රමාණය බලපායි. බොහෝ විට වගා කාල සටහන වර්ෂාපතන රටාව සමග සමපාත ලෙස සිදු කරයි.

වර්ෂාපතනය මගින් ජලය නොලැබෙන විට වාරි ජලය සැපයීම මගින් එම අවශ්‍යතාවය ඉටු කර ගත හැකිය. වර්ෂාපතනය, වර්ෂා මානයක් මගින් මනිනු ලබන අතර එය මිලිමීටර සෙන්ටිමීටර හෝ අඟල් වලින් ප්‍රකාශ කරයි. පසේ අඩංගු ජල ප්‍රමාණය ලැබෙන වර්ෂාපතනය අනුව තීරණය වන නිසා බෝග වගාවට ඉතා වැදගත් වන දේශගුණික නිර්නායකයකි. එසේම ශ්‍රී ලංකාව තුළ කාලීනව හෝ සෘතුමය ලෙසින් උෂ්ණත්ව වෙනස්වීමක් දක්නට නොමැති බැවින්, දේශගුණය ගැන සැලසීමේදී වඩාත් වැදගත් සාධකය වන්නේ වර්ෂාපතනයයි.

 

  • උෂ්ණත්වය

උෂ්ණත්වය උෂ්ණත්ව මානයකින් මැනගත හැකිය. එයද බෝග නිෂ්පාදනය කෙරෙහි බලපාන ඉතා වැදගත් කරුණකි. බීජ ප්‍රරෝහණය, බෝගයේ කායික ක්‍රියා, පුෂ්ප හටගැනීම, ප්‍රභාසංශ්ලේෂණය යන දෑ උෂ්ණත්වය මත වෙනස් වේ. ප්‍රශස්ථ උෂ්ණත්වයක් පැවතීම ඉහත දෑ ප්‍රශස්ථව සිදුවීමට අවශ්‍ය වේ. අධික උෂ්ණත්වය මෙන්ම අඩු උෂ්ණත්වයද බෝග වගාවට අහිතකර ලෙස බලපායි.

බෝග වගාවේ නිසි අස්වැන්න සඳහා දිවා කාලයේ උෂ්ණත්වය සේම රාත්‍රී කාලයේ උෂ්ණත්වයද වැදගත් වේ. උදාහරණයක් ලෙස අල බෝග සඳහා දිවා කාලයේ ප්‍රශස්ථ උෂ්ණත්වයක් තිබී රාත්‍රී කාලයේ අඩු උෂ්ණත්වයක් තිබීම වැදගත් වේ. නැතිනම් අල වැඩීමේ ප්‍රමාණය අඩුවේ. උෂ්ණත්වය බොහෝ විට උන්නතාංශය සමගින් බැඳී පවතී. ඉහල උන්නතාංශයේදී උෂ්ණත්වය අඩු වේ.

උෂ්ණත්වය අනුව ලෝකයේ ප්‍රදේශ විවිධ කලාප වලට වෙන් කර ඇත. ඒවා නම් නිවර්තන කලාපය (සමකයට අයත්ව) සෞම්‍ය කලාපය සහ ශීත කලාපයයි. නිවර්තන කලාප බෝග නිවර්තන හෝ උෂ්ණ සෘතු බෝග ලෙසත්, සෞම්‍ය කලාපයේ බෝග සෞම්‍ය හෙවත් ශීත සෘතු බෝග ලෙසත් හඳුන්වයි. උෂ්ණත්වයේ වෙනසක් ශ්‍රී ලංකාවේදී දැකිය හැකි වුවද එය සෘතු බෙදීමක් දක්වා විහිදෙන්නේ නැත.

උෂ්ණත්වය අනුව ලෝකයේ ප්‍රදේශ විවිධ කලාපවලට වෙන් කර ඇත. ඒවා නිවර්තන කලාපය (සමකයට ආසන්නව) සෞම්‍ය කලාපය සහ ශීත කලාපයයි. නිවර්තන කලාප බෝග නිවර්තන හෝ උෂ්ණ සෘතු බෝග ලෙසත් සෞම්‍ය කලාපයේ බෝග සෞම්‍ය හෙවත් ශීත සෘතු බෝග ලෙසත් හඳුන්වයි. උෂ්ණත්වයේ වෙනසක් ශ්‍රී ලංකාවේදී දැකිය හැකි වුවද එය සෘතු බෙදීමක් දක්වා විහිදෙන්නේ නැත. වියළි කලාපේදී උෂ්ණත්වය වැඩ වන අතර කඳුකර තත්ව තුළ උෂ්ණත්වය අඩු වේග අඩුම උෂ්ණත්වය වෙනස් වීම නුවරඑළිය ප්‍රදේශවලදී දැකිය හැකිය. සමහරක් බෝගවල පුෂ්ප හට ගැනීම සඳහා පරිසර උෂ්ණත්වය උත්තේජකයක් වෙයි. පුෂ්ප හටගැනීම සඳහා අඩු උෂ්ණත්වයකට භාජනය වීමේ අවශ්‍යතාවය වසන්තීකරණය මින් හඳුන්වයි.

 

  • ආලෝකය

ශාක වර්ධනය සැලකූ වට අඳුරු ස්ථානවල වැඩෙන බෝග උසින් වැඩ අතර ආලෝකය අධික ප්‍රදේශවල අතු බහුලව ඇති වීම සහ ශාක කෙටි වීම දැකිය හැකිය. එම නිසා බෝග වල වර්ධනයට ප්‍රධානවම බලපාන සාධකයකි. බීජ ප්‍රරෝහණය, ශාක වර්ධනය, පුෂ්ප හට ගැනීම, ජල වර්ධනය සහ ඵල ඉදීමට ආලෝකය අවශ්‍ය වේ. ආලෝකය වර්ණ කීපයකින් යුක්තය. ආලෝකය ලැබෙන තීව්‍රතාවය, ආලෝකයේ ගුණාත්මය සහ ආලෝකය ලැබෙන කාලසීමාව බෝග වගාවනට බලපායි. ආලෝක තීව්‍රතාවය ප්‍රශස්ථ ලෙස තිබීම බෝග වගාවට හිතකරය. දිවා කාලයේ බෝග මැලවීමට ලක් වන්නේ අධික තීව්‍රතාවය නිසාය. එය හිතකර නොවේ. ආලෝක ගුණාත්මය, බීජ ප්‍රරෝහණයට සහ ශාකයේ වර්ධනයට බලපායි. පාරජම්බුල කිරණ ශාක වර්ධනය දුර්වල කරයි.

ආලෝකය ලැබෙන කාලසීමාවද බෝග වර්ධනයට බහුලව බලපායි. ශ්‍රී ලංකාවේ දිගම දිනය ජූනි 21 වන අතර එදින පැය 12.30ක ආලෝක කාලසීමාවක් පවතී. කෙටිම දිනය දෙසැම්බර් 21 වන අතර එදින පැය 11.40ක් ආලෝකය ලැබේ. බොහෝ බෝග වලට ලැබෙන ආලෝක කාලසීමාව අනුව ඒවායේ මල් පිපීම සිදුවේ. එම බෝග "ප්‍රකාශවර්තී ශාක" නමි. මේ අනුව කෙටි දින (පුෂ්ප හට ගැනීමට කෙටි දිවා කාලයක් අවශ්‍යයි), දිගු දින (පුෂ්ප හට ගැනීමට දිගු දිවා කාලයක් අවශ්‍යයි) හෝ ප්‍රකාශවර්තී උදාසීන ශාක වේ. ප්‍රකාශවර්තීතාවය කෘතිමව වෙනස් කළ හැකිය.

උදා: කෙටි දින ශාක - කෝපි, පොඩි වී A8, PTB 16, උක්, සෝයා බෝංචි, රටකජු

දිගු දින ශාක - බීට්, සලාද, අර්තාපල්, නිවිති

ආලෝකය ශාකයන්ගේ ප්‍රභාසංශ්ලේෂණය සඳහා කෙලින්ම බලපාන සාධකයකි.

 

  • සුළඟ

වායුගෝලය නිශ්චල නොවේ. එහි චලනය සුළං නමි වේ. වායු චලන වේගය මැනීමට අනිලමානය භාවිතා කරයි. සුළ‍‍‍ඟේ වේගයද බෝග වගාවට බලපායි. උත්ස්වේදනය, පාංශු ඛාදනය, බෝග ඇද වැටීම, නිසි ලෙස සිදුවන පරාගනයට මෙන්ම පරාගනයට බාධා ඇතිවීම, ප්‍රභාසංස්ලේශක කොටස් වලට හානි සිදුවීම, පළිබෝධ සහ රෝග පැතිරීම සුළං මගින් වැඩි කරයි. කෙසේ වුවද මද සුළඟ බෝග වගාවට හිතකර අතර අධික සුළං තත්ත්ව වගාවට ඉතාමත් අහිතකරය.


 

 

  • ආද්‍රතාවය

වායුගෝලයේ ඇති තෙතමන ප්‍රමාණය ආර්ද්‍රතාවය යනුවෙන් සාමාන්‍යයෙන් සැලකේ. ආර්ද්‍රතාවය ශාකවල පැවැත්ම කෙරෙහි බලපෑම් රාශියක් සිදු කරයි. වාතය ඉතා වියලි විට පරාගවල ජීව්‍යතාවය අඩුවේ. අධික තෙත් තත්ත්ව බෝග වලට රෝග හානි වැඩි කරයි. අඩු ආර්ද්‍රතාවයේදී උත්ස්වේදනය වැඩිවී අස්වැන්න අඩුවේ.

බෝග වගාවේදී වඩාත් වැදගත් වන්නේ යම් උෂ්ණත්වයකදී වාත පරිමාවක අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය හා එම උෂ්ණත්වයේදී එම වාත පරිමාවම ජල වාෂ්ප වලින් සංතෘප්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ප්‍රමාණය අතර ඇති අනුපාතයයි. මෙය සාපේක්‍ෂ ආර්ද්‍රතාවය නමි වේ. තෙත් සහ වියලි බල්බ උෂ්ණත්ව මානයෙන් සාපේක්‍ෂ ආද්‍රතාවය මැනිය හැකිය.

ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටා නිරූපණය

ශ්‍රී ලංකාවේ වර්ෂාපතනයේ හැසිරීම සංසිද්ධීන් කිහිපයක් මගින් පාලනය කෙරේ. මෝසම් සුළං, (monsoon) සංවහන ක්‍රියා (conrection), පහළ වායුගෝයේ සිදුවන කැළඹීම් : (low level atmospheric disturbances) වායුගෝලීය පීඩන අවපාත (depression) හා වාසුලි (cyclones) ක්‍රියා එම සංසිද්ධීන් වේ. වර්ෂාපතන රටාව සාමාන්‍යයෙන් හසුරවන්නේ සුළං සහ සංවහන ක්‍රියා මගිනි. පහළ වායුගෝලයේ සිදුවන කැළඹීම් පීඩන අවපාත සහ වාසුලි මගින් සාමාන්‍ය රටාව වෙනස් වීමකට භාජනය වේ.

-->