බෝග වර්ගීකරණය

බෝග වර්ගීකරණය උද්භිද විද්‍යාත්මකව ද්විපද නාමකරණය මගින් සිදු කරයි. මෙය මුලින්ම හඳුන්වා දුන්නේ ස්විඩන් ජාතික කැරොලස් ලිනෙයස් යන විද්‍යාඥයාය. මෙම වර්ගීකරණයට ඔහු භාවිතා කළේ ශාක පුෂ්පවල සමානකම් වන අතර අද පවා උද්භිද විද්‍යාඥයින් මෙම ක්‍ර‍මය භාවිතා කරයි.

මෙහිදී සියළුම ශාක පද දෙකකින් හඳුන්වයි.

1. ගණ නාමය
2. විශේෂ නාමය

වී ශාකයේ ද්විපද නාමකරණය Oriza sativa නම් වේ.

මෙහිදී ගණ නාමය පටන් ගන්නේ ඉංග්‍රීසි කැපිටල් අකුරකින් වන අතර අනිකුත් සියළු අකුරු සිම්පල් ඉංග්‍රීසි අකුරු වලින් සමන්විතය. මෙම වචන ලියා එය යටින් ඉරක් ඇඳීම හෝ එය ඇදට ලිවීම සාම්ප්‍රදායික ක්‍රමයයි.

විශේෂය යනු වර්ගීකරණයේ මූලික ඒකකය යි. එකම විශේෂයක් යනු පොදු පූර්වජයන් සහිත ස්වභාවයෙන් අභිජනනය කර සරු ජනිතයන් බිහි කරන ව්‍යුහාත්මක යන ක්‍රියාත්මකව සමාන ලක්ෂණ ඇති සමාන ජීවීන් සමූහයකි.

සමහරක් විට නාමකරණයට පසු තවත් අකුරක් හෝ අකුරු කීපයක් එක්වේ. එය එම ශාකය මුලින්ම සොයාගත් විද්‍යාඥයාගේ නාමයේ මුල් අකුරු වේ.

උදා : Oriza sativa L. L = ලිනෙයස්

ශාක වර්ගීකරණ අනුපිළිවෙල පහත ලෙසින් දැක්විය හැකිය.

  • කාණ්ඩය - ට්‍රැකියොෆීටා (සනාල ශාක)
  • වර්ගය - ඇන්ජියොස්පර්මේ
  • උප වර්ගය - ඒකඛීජ පත්‍රී
  • කුලය - Poaceae (Gaminene)
  • ගනය - Oriza
  • විශේෂය - Oriza sativa

වර්ගීකරණය අපට වැදගත් වන්නේ එක් එක් අනු පිළිවෙල යටතේ සමාන පොදු ලක්ෂණ සහිත කාණ්ඩයන් එක් වනනිසාය.

මේ අනුව,

    රෝග පාලනය (ශාක කුල අනුව බෝග තේරීමට)
    බද්ධ කිරීම (ග්‍රාහක ශාක සොයා ගැනීමට)
    කෘමීන් මර්ධනය (එක් බෝගයක් මගින් කෘමීන් විකර්ශණය)
    බිම් සැකසීම (ශාක කුල වල බෝග වර්ග අනුව)
    පොහොර යෙදීම (අවශ්‍යතාවයන් සමාන වන විට නව ප්‍රභේද බෝ කිරීමට)
    වල් නාශක යෙදීම (එකම කුලයේ ශාක සඳහා විවිධ වගා ක්‍රම සහ අස්වැන්න නෙලීමට)
    කොළ පොහොර ලෙස භාවිතයට ගත හැකි ශාක තේරීමට (නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව ඇති රනිල කුලය) ආදියට උපකාර කර ගත හැකිය

සපුෂ්ප ශාක, ඒක බීජ පත්‍ර සහ ද්වි බීජ පත්‍ර ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදා ඇත.
ඒක බීජ පත්‍ර ශාක ශාක කුල 9 කටත් , ද්වි බීජ පත්‍ර ශාක ශාක කුල 38 කටත් බෙදා ඇත.

විද්‍යාත්මකව ඉහත ලෙස බෝග වර්ගීකරණය සිදු කරයි. එහෙත් බෝග වර්ග වර්ගීකරණය වෙනත් ආකාරවලට ද සිදු කරයි. ඒවා පහත ලෙසින් විස්තර කළ හැකිය. විද්‍යාත්මක වර්ගීකරණය සේම අනිකුත් වර්ගිකරණයන් ද බෝග ඵල නිසි කළමනාකරණය සඳහා වැදගත් වේ.

බෝගයේ ජීවිත කාලය (වයස) අනුව වර්ග කිරීම

ප්‍රධාන කොටස් 3 කි.

  • ඒක වාර්ෂික බෝග
වසරක් ගත වීමට ප්‍රථම සිය ජීවිත කාලය සම්පූර්ණ කර අවසන් කරයි.
උදා : වී, කුරක්කන්, බඩ ඉරිඟු
  • ද්වි වාර්ෂික බෝග
වසර දෙකක් තුළ ජීවිත කාලය සම්පූර්ණ කර අවසන් කරයි.
  • බහු වාර්ෂික බෝග
සිය ජීවිත කාලය අවසන් කිරීමට වසර දෙකකට වැඩි කාලයක් ගනී.
උදා : අඹ, කොස්, පොල්

බෝග වර්ගයේ උස සහ කාෂ්ඪය පටක ප්‍රමාණය මත වර්ග කිරීම


ප්‍රධාන කොටස් 3 කි.

  • පැළෑටි
බිම් මට්ටමේ පැතිර පවතී. උස සෙන්ටිමීටර කිපයකට සීමා වේ. ශාක වල දැඩි ගතිය අඩුය.
  • පඳුරු
පඳුරක් යනු කාෂ්ඨය කඳක් සහිත පැළෑටියකට වඩා උසින් වැඩි බෝගයකි. බොහෝවිට පොළොව මට්ටම අසලදීම අතු බෙදීමකට ලක් වේ. උසින් මීටර් 5 කට පමණ සීමා වේ.
  • වෘක්ෂ
ප්‍රධාන කඳක් සහිත උසින් මීටර් 5 කට වැඩි බහුලව අතු බෙදුන කාෂ්ඨීය ශාකයන් ය.

භාවිත කරන ආකාරය අනුව බෝග වර්ග කිරීම

ආහාරමය පදනමක් සහිත බෝග
ධාන්‍ය බෝග වී, තණහාල්, කුරක්කන්, බඩ ඉරිඟු
අල බෝග බතල, අර්තාපල්, ගහල, මඤ්ඤොක්කා
පලතුරු බෝග අඹ, අන්නාසි, පැපොල්,කෙසෙල්, දෙළුම්
එළවළු බෝග ගෝවා, කැරට්, තක්කාලි, බටු, මුරුංගා
මාෂ බෝග කව්පි, සෝයා බෝංචි, පරිප්පු
කුළුබඩු බෝග කහ, කුරුඳු, කරදමුංගු, අබ, කරපිංචා
පලා වර්ග කංකුං, මුකුණුවැන්න, ගොටුකොළ, තම්පලා, ගෙඳ පලා, කතුරු මුරුංගා
කොළ කැඳ සඳහා භාවිත බෝග එළබටු, පොල්පලා, වැල්පෙනෙල, ගොටුකොළ
වෙනත් කටයුතු සඳහා භාවිත කරන බෝග
ඖෂධ බෝග ඉරිවේරිය, පොල් පලා, වද කහ, ඉරමුසු, හාතාවාරිය
කෙඳි බෝග හණ, කපු
සීනි නිෂ්පාදන බෝග උක්, බීට්
සෙවන සඳහා භාවිත බෝග එරබදු, ග්ලිරිසීසියා, සවුක්කු
ආවරණ බෝග සෙන්ට්‍රොසිමා, පියුරේරියා
වැවිලි බෝග තේ, රබර්, පොල්, ග්ලිරිසීඩියා
අපනයන කෘෂිබෝග කෝපි, ගම්මිරිස්, කුරුඳු, කොකෝවා
තෙල් බෝග තල, එඬරු, සූරියකාන්ත, රට කජු
සත්ත්ව ආහාර බෝග තෘණ, කිතුල්
දැව බෝග තේක්ක, මහෝගනී, මිල්ල, හල්මිල්ල
කපා විකුණන ලද බෝග ඇන්තූරියම්, ඕකිඞ්, රෝස
භූමි අලංකරණ සහ විසිතුරු පත්‍ර සහ වගාවේ බෝග රෝස, ඇන්තූරියම්, කානේෂන්, ඩ්‍රැසීනා, උඩවැඩියා, තෘණවර්ග, මීවන
බහු කාර්ය බෝග කොස්, පොල්

 

බෝග වැඩෙන පරිසරය මත වර්ගීකරණය .

දේශගුණික සාධක මත මෙහිදී බෝග වර්ග කරයි.

සෞම්‍ය කලාපීය බෝග ඇපල්, චෙරි, ස්ට්‍රෝබෙරි, පෙයාර්ස්
නිවර්තන කලාපීය උඩරට බෝග ගෝවා, ලීක්ස්, කැරට්, බීට්
නිවර්තන කලාපීය පහතරට බෝග අඹ, පොල්, වට්ටක්කා, බණ්ඩක්කා

 

මේ අනුව උඩරට සහ පහතරට එළවළු ලෙස වර්ග දෙකක් පැවතුනද බීජ අභිජනනය මගින් සහ තාක්ෂණය උපයෝගී කොටගෙන සිදුකර ඇති ක්‍රියා නිසා උඩරට එළවළු පහතරට තුළදීද දැන් වගා කරනු ලබයි.

 

වියලි කලාපය

සෞම්‍ය කලාපීය බෝග ඇපල්, චෙරි, ස්ට්‍රෝබෙරි, පෙයාර්ස්
නිවර්තන කලාපීය උඩරට බෝග ගෝවා, ලීක්ස්, කැරට්, බීට්
නිවර්තන කලාපීය පහතරට බෝග අඹ, පොල්, වට්ටක්කා, බණ්ඩක්කා

 

ධාන්‍ය වී, කුරක්කන්, සෝගම්, මෙනේරි, බඩ ඉරිඟු
පළතුරු අඹ, කජු, දොඩම්, කෙසෙල්, පැපොල්
කුළුබඩු ලොකුළූණු , රතුළූණු , අබ, මිරිස්
එලවලූ බණ්ඩක්කා, බටු, කැකිරි, මුරුංගා, තක්කාලි
මාෂ බෝග කව්පි, මුංඇට, උඳු, සෝයා බෝංචි

පහත රට තෙත් කලාපය

ධාන්‍ය වී, බඩ ඉරිඟු
පළතුරු අන්නාසි, පැපොල්, අලි පේර, මැංගුස්ටින්
කුළුබඩු කහ, ඉඟුරු
එලවලූ බටු ,මිරිස්, වට්ටක්කා, පලා වර්ග
වැවිලි බෝග තේ, රබර්, පොල්
මාෂ බෝග බුෂිටාවෝ, දඹල


ශ්‍රී ලංකාව තුළ ඉඩම්, ජල පරිශීලණය, වර්ෂාපතන ව්‍යාප්තිය, භූරූපන සාධක හා පාංශු සාධක යොදා ගෙන කෘෂි ආදර්ශන වලින් පසු කෘෂි පාරිසරික කලාප වලට බෝග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කර ඇත. ඒවායින් කිහිපයක් පහත දක්වා ඇත.

 

බෝගය වැඩෙන උපස්තරය මත වර්ගීකරණය

පසේ වැවෙන බෝග වී, තේ, රබර්, බඩ ඉරිඟු
ජලයේ වැඩෙන බෝග නෙලූම්, මානෙල්
අපිශාකී බෝග බොහෝ ඕකිඞ් වර්ග

වැඩි විස්තර සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පත්‍රිකා පරිශීලනය කරන්න.

4x2x දෙබෙදුම් සුචි (Dichotomous key)
කිසියම් ශාක කාණ්ඩයක් හෝ ශාකයක කොටස් එවායේ බාහිර ලක්ෂණ පමණක් සලකා බලා කරනු ලබන වර්ගීකරණයක් දෙබෙදුම් සුචියක් නමින් හඳුන්වයි.

මෙහිදී එක් විටක ශාකයේ කොටස් වල ලක්ෂණ මගින් කාණ්ඩ දෙකකට වෙන් කරයි. ඒ අනුව භාවිතා කරන සියළුම ශාක වෙන් වනසේ කාණ්ඩ වලට වෙන් කිරීම සිදු කරයි.

උදා: සමන්පිච්ච බෝංචි, රෝස මල්, කොස්, දෙල්, තණකොල, බඩ ඉරිඟු ශාක දෙබෙදුම් සුචියක් මගින් වර්ග කරන්න.

 

ඒක බීජ පත්‍රී බෝග සහ ද්විබීජ පත්‍රී බෝග අතර පවතින ව්‍යුහාත්මක වෙනස්කම්


ඒක බීජ පත්‍රී බෝග ද්විබීජ පත්‍රී බෝග
බීජය තනි බීජ පත්‍රයකි බීජ පත්‍ර යුවලකි
කඳ

බොහෝ විට අතු බෙදී නැත
විසිරුණු සනාල කලාප

අතු බෙදී පවතී
වලයාකාර සනාල කලාප
කැම්බියම

කැම්බියමක් නැත
ද්විතියික වර්ධනයක් නැත

කැම්බියමක් ඇත.
ද්විතියික වර්ධනයක් ඇත.

මුල් මුදුන් මුලක් රහිතය මුදුන් මුලක් සහිතය
නාරටි වින්‍යාසය සමාන්තර නාරටි වින්‍යාසය ජාලාභ
පුෂ්ප සැලැස්ම තුනේ ගුණාකාර ලෙස පවතී

හතරේ හා පහේ ගුණාකාර ලෙස පවතී


පොල්, තණකොළ, වී උදාහරණ අඹ, බෝංචි, කොස්,

පොආසියේ (poaceae) මොරාසියේ (moraceae)

පාල්මේ (palmae) සොලනේසියෝ (solanacae)

ලිලියේසියෝ (Liliaceas) රූටාසියෝ (rutaceae)

අරාසියේ (Araceae) කුකරිබිටාසියෝ (cucurbitaceae)

 

බෝග පැළෑටි සහ ඒවායේ ව්‍යුහය


බෝග පැළෑටි වල ප්‍රධාන කොටස් 2 ක් දැක්විය හැකිය.

මූල පද්ධතිය - පස යට ඇති කොටස් (වෙනම විස්තර කර ඇත)

වායව පද්ධතිය - පසෙන් උඩ ඇති කොටස්


වායව පද්ධතිය ලෙස කඳ , පත්‍ර, අතු, මල්, සහ ගෙඩි අයත් වේ.

ශාකයේ ප්‍රධාන කොටසක් වන්නේ ශාක පත්‍රයන්ය. මේවා හරිත වර්ණ වන අතර හිරු එළියේ ශක්තිය ලබාගෙන වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඞ් වායුව උරා ගෙන ශාකයට අවශ්‍ය ආහාර නිපදවීමට උපකාරී වේ. එහි අතුරු ඵලයක ලෙස ඔක්සිජන් වායුව නිදහස් කරයි. පත්‍ර මගින් නිපදවන ආහාර සනාල කලාප මගින් වෙනත් ස්ථාන කරා ගෙන යයි.

ශාක පත්‍ර ඉහලට ඔසවා අවශ්‍ය ආලෝකය ලබාදීමට ශාක කඳ සහ අතු උපකාරී වේ. එනම් මූල පද්ධතිය හා අනෙකුත් කොටස් යා කිරීම සහ ඒවායේ අවශ්‍යතා සැපයීම මින් සිදු කෙරේ. සමහරක් විට ආහාර සංචිත අවයවයක් ලෙසද ක්‍රියා කරයි. සමහරක් කඳන් භූගතව පවතී. ඒක බීජ පත්‍රී කඳ ශාකණය නොවන අතර ද්විබීජ පත්‍රී කඳ අධිකව ශාකණය වී ඇත.


සමහරක් බෝග වල දුර්වල කඳන් පවතී.
උදා: කන්කුං: ඒවායේ ආගන්තුක මුල්ද පවතී. ඒවා ධාවක ලෙස නම් කරයි.

සමහරක් ශාක වල කඳන් ප්‍රභාසංස්ලේෂීය ය. මේ සඳහා උදාහරණ ලෙස පතොක්, දලූක්, ඩ්‍රැගන් පෘට්, නව හන්දි ආදිය ගත හැකිය.

සමහරක් කඳන් තවත් ශාකයක එතී යයි. ඒවා කාෂ්ඪාරෝහක ලෙසින් හඳුන්වයි. සමහරක් පහුරු මගින් ආරෝහක තත්වයට පත්වේ.

කඳන් වල ආරක්ෂාව සඳහා විවිධ ක්‍රියාමාර්ග පවතී. ඒවා අතර කටු, තුණ්ඩ ආදිය ගත හැකිය.
කඳන් බොහෝ විට වර්ධක ප්‍රජනනය සඳහා උපකාරී වේ. අතු බැදීම, කැබලි මගින්.

භූගත කඳන් ලෙස,

  • බල්බ - ලූනු
  • රයිසෝම - ඉඟුරු
  • ආකන්ද - අර්තාපල්
  • කෝම - පත්‍ර අල ගත හැකිය

මේවා ආහාර සංචිත පවත්වා ගැනීමට උපකාරී වේ.

අංකුර පත්‍ර විකසනය නොවූ ක‍‍ඳේ ඉතා කෙටි කොටසකි. එය ගැට සහ පර්ව දරයි. අග්‍රස්ථ සහ කක්ෂීය අංකුර මගින් ශාකයට නව කොටස් එකතු කිරීම සිදු කරයි. ඒවා පත්‍ර හෝ අතු විය හැකිය. අංකුර සුප්තතාවයේ පැවතී හොඳ කාලගුණික තත්ත්ව යටතේ සක්‍රීය බවට පත් වේ.

අංකුර බෙදීම විවිධ ශාක වල විවිධ ආකාරයට සිදුවේ. ඒවා දෙබෙදුම් ශාඛනය, ඒක පාදී හෝ බහු පාදී විය හැකිය.
මල් මගින් පරම්පරාව පවත්වා ගැනීමට උපකාර වන ලිංගික ප්‍රජනනය සිදු කරයි.
ලිංගික ප්‍රජනනයේ ඇතිවන ඵල බීජ මගින් ව්‍යාප්ත කර නව පරම්පරාවක් ඇති කිරීමට උපකාරී වේ.

 

මූල පද්ධතිය

මූල පද්ධතිය බෝගයක බොහෝ විට පස තුළ පවතින කොටස වේ. මෙය පහත ලෙස කොටස් දෙකකට වෙන් කරයි.

මූල පද්ධතිය බෝගයට විවිධ කාර්යයන් ඉටු කිරීමට උපකාර වේ. ඒ අතර


1. බෝගය දරා සිටියි.
2. පසෙන් ජලය සහ පෝෂක අවශෝෂණයට උපකාර වේ.
3. සමහරක් විට ආහාර සංචිත ගබඩා කිරීමට උපකාර වේ.
4. බෝග ප්‍රචාරණයට උපකාර වේ.
5. පාංශු සංරක්ෂණයට දායක වේ.

මේ නිසා බෝග වගාවේදී ශාකයට හොඳ මූල පද්ධතියක් තිබීම ඉතාමත් වැදගත් වේ. බීජ ප්‍රරෝහණයේදී බීජ මූලයෙන් හට ගන්නා මූල පද්ධතිය ජීවිත කාලය පුරාම පවතින අතර ඒ සඳහා උපකාර කිරීම අස්වැන්න ලබා ගැනීමට ශාකයට කළ හැකි උපකාරයකි.

මුදුන් මූල පද්ධතිය - ද්විබීජ පත්‍රී ශාක වලට ආවේනික වේ.
තන්තු මූල පද්ධතිය - තෘණ විශේෂ වල බහුලව ඇත.

මීට අමතරව ආගන්තුක මුල් ශාක වල ඇත. ඒවා මුදුන් මුලෙන් හැර අනෙකුත් ස්ථාන වලින් ඇතිවේ.
උදා: ගම්මිරිස් වල පර්යන්තයෙන් ඇති වන මුල් එසේම කයිරු මුල් (බඩ ඉරිඟු වල ක‍ඳේ පාදයෙන් ඇතිවන මුල්) සහ කරු මුල් (ශාක විශාල අතු වලින් ඇතිවන මුල්) ද ඇත.

 

ශාක පත්‍රයන් සහ එහි මූලික කොටස්

පත්‍රය හා ආශ්‍රිත කොටස්


පත්‍රය සනාල ශාක වල ප්‍රධාන සංස්ලේෂක ව්‍යුහයයි. පරිනත පත්‍ර වල වර්ධනයක් බොහෝ විට නැත. පත්‍ර බෝගයේ දිගටම පවතී නම් සදාහරිත ශාක ලෙස හඳුන්වන අතර එය කාලයකදී හැලේ නම් පතනශීලී ලෙසින් හඳුන්වයි. (උදාහරණ - රබර්)

පත්‍ර නටුව නොහොත් පත්‍ර වෘන්තය මගින් පත්‍රය කඳට සවි වේ. සමහරක් පත්‍ර වෘන්ත දරන අතර සමහරක් නිර්වෘන්තිකය. විවිධ බෝග වර්ග වල පත්‍ර වෘන්ත විවිධ වූ විකරණ දක්වයි.

සමහරක් බෝග වල උප පත්‍ර තිබෙන අතර අනෙක්වායේ උප පත්‍ර නැත. සමහරක් බෝග වල උප පත්‍ර විකරණය වී පහුරු සකසා ඇත.

පත්‍ර තලය, පත්‍ර දාරය, පත්‍ර අග්‍රස්ථය සහ පත්‍ර පාදයෙන් සමන්විතය. මෙහි පෘෂ්ඪීය සහ උදරීය පැති දැකිය හැකිය. පත්‍ර පාදය, පත්‍ර අග්‍රය සහ පත්‍ර දාරය විවිධ වූ ආකාරයට සැකසී විවිධ ආකාරයේ පත්‍ර විවිධ බෝග වර්ග වල දැකිය හැකිය. මේ සඳහා උදාහරණ ලෙස පත්‍ර අග්‍රය සහ පාදය මොට තත්ත්වයේ සිට තීව්‍ර තත්ත්වය දක්වා වෙන්වේ. පත්‍ර දාරය සරල තත්ත්වයේ සිට දැති සහ අධිත දැති බෙදීම් දක්වා වෙනස් වේ.

 

පත්‍ර තලයේ හැඩයන් විවිධ විය හැකිය. ඒවා සූත්‍රාකාර තත්ත්වයේ සිට අන්ඩාකාර හෝ ඉලිප්සාකාර දක්වා වෙනස් වේ.

පත්‍ර තලය සරල සිට සංයුක්ත දක්වා වෙනස් වේ. සරල පත්‍ර සම්පූර්ණ බෙදීමකට ලක් නොවන අතර සංයුක්ත පත්‍ර පත්‍රිකා දරයි.

පත්‍ර නාරටි වින්‍යාසයන්ද විවිධය. ඒවා සමාන්තර සිට ජාලාභ දක්වා වෙනස් වේ.
ශාකයේ පත්‍ර සැකසීමකද විවිධ ආකාරයට දැකිය හැකිය.

පුෂ්ප පද්ධතිය

දර්ශීය අවෘත බීජක බෝගයක පුෂ්පයක කොටස්
සපුෂ්ප ශාක ආකර්ශනීය පුෂ්ප වලින් සමන්විතය. ශාකයක ඊළඟ පරම්පරාව ( බීජ ) සෑදීම සඳහා භාවිතා කරන උපකරණ වන්නේ මල සහ එහි කොටස්ය.

 

මලක කොටස් වලයාකාරව සැකසී ඇත.

එහි පිටතින්ම ඇත්තේ මනි පත්‍රයන්ය. ඒවා කොළ පැහැයෙන් යුක්තය. මල මුල් අවධියේදී ආරක්ෂා කරයි. මනි පත්‍ර වලට ඇතුළතින් මුකුටය ඇත. එය දලපත්‍ර වලින් සමන්විතය. දල පත්‍ර සාමාන්‍යයෙන් අලංකාරවත්ව පවතී. පරාගණය සඳහා කෘමීන් ආකර්ශනය මේ මගින් සිදුවේ. විවිධ මල් වල මුකුට හැඩ විවිධ වේ.

සමහරක් විට මනිය හා මුකුටය එක්ව පිහිටා ඇත. එය පරිපුෂ්පය (perianth) නමි. මුකුටය ඇතුළතින් පුමාංගය (androecium) පවතී. මෙය මලේ පුමංගී කොටසයි. පුමාංගය පරාගධානි හා සූත්‍රිකාවකින් ස`මන්විතය. පරාගධානි පරාග විශාල සංඛ්‍යාවකින් සමන්විතය. පුමාංගය එහි පිහිටීම, බාහිරව විවෘත වන ආකාරය සූත්‍රිකාවේ ලක්ෂණ අනුව අධිකව වෙනස් වේ.

පුෂ්පයක මධ්‍යයේ වූ කොටස ජායාංගයයි (gynocium). මෙය පුෂ්පයක ස්ත්‍රී කොටස වේ. එය ඩිම්බකෝෂය, කීලය සහ කලංකයෙන් යුක්තය. ජායාංගී කොටස් වල විවිධ වෙනස්කම් විවිධ මල් වල දැකිය හැකිය.

මලක් විවෘත වූ විට මේ කොටස් දැකිය හැකිය. බොහෝ විට මල පිපීමෙන් පසු කලංකය පරාග වලට ග්‍රාහක තත්ත්වයක් පෙන්වයි. එවිට කලංකය තෙත් හා ඇලෙන සුළු තත්ත්වයක් පෙන්වයි. පරාග කලංකය මත ප්‍රරෝහණය වී කීලය හරහා ගොස් ඩිම්බ සංසේචනය කරයි.

විවිධ ශාකයන්ගේ පුෂ්ප වල අඩංගු ජායාංගී සහ පුමාංගී කොටස් සහ එක් ශාකයක අඩංගු ජායාංගී, පුමාංගී සහ ද්වීලිංගික මල් අනුව එක් එක් බෝගවල විවිධ පුෂ්ප පද්ධතීන් දැකිය හැකිය.

මලක් සැලකූ විට,

  • ද්වි ලිංගික මල් - ජායාංගය සහ පුමාංගය දෙකම ඇති මල්
  • ඒක ලිංගික මල් - මලක ඇත්තේ ජායාංගය හෝ පුමාංගය පමණි.

තනි ශාකයක් සැලකූ විට එම ශාකය

ද්වි ලිංගික ගසේ ඇත්තේ ද්වි ලිංගික මල් පමණි.
ඒකගෘහිතාවය ඒක ලිංගික මල් වර්ග දෙකම වෙන වෙනම ශාකයේ පවතී.
ද්වීගෘහිතාවය ඒක ලිංගික පුං හා ජායා මල් වෙන වෙනම ගස් දෙකක පවතී.
ජායාගෘහිතාවය ගසක ගැහැණු මල් පමණක් පිහිටීම.
පුමාංගීතාවය ගසක පිරිමි මල් පමණක් තිබීම.
ජායෙකගෘහිතාවය ගසක ද්විලිංගික සහ ගැහැණු මල් තිබීම.
පුංඒකගෘහක ගසක ද්විලිංගික සහ පිරිමි මල් තිබීම
බහුයෝගීතාවය ගසක ද්විලිංගික, පිරිමි සහ ගැහැණු මල් වර්ග සියල්ලම තිබීම.
යන සංකීර්ණ තත්ත්වයක තිබිය හැකිය.


මෙසේ මෙම තත්ත්වයන් ශාක ගහනයකද වෙනස් විය හැකිය.

බෝගයක පුෂ්ප පද්ධතිය වැදගත් වන්නේ එය මගින් නිපදවන බීජ ප්‍රමාණය තීරණය කිරීමට ඇති දායකත්වයයි. විවිධ මල් වර්ග පද්ධතීන්ගේ අස්වැන්න ලබාදීමේ හැකියාව වෙනස් වේ.

ප්‍රශ්නය : (1) ගස් ලබු ශාකයේ මලක් සැලකූ විට සහ තනි ශාකයක පවතින පුෂ්ප සලකා එහි පුෂ්ප පද්ධතියන් හඳුනා ගන්න.
(2) වැටකොලූ කරවිල සහ පතෝල බෝගයන්ගේ මල් පිපීමේදී සිදුවන වෙනස්කම් හඳුනාගන්න.

පරාගනය (pollination)

 

එකම විශේෂයක මලක පරාගධානියේ සිට කලංකය දක්වා පරාග ගෙන ගොස් පතිත කිරීම පරාගණය නමින් හඳුන්වයි.

 


පරාගණය සඳහා පරාග කාරකයන් අවශ්‍ය වේ.

පරාග කාරකයන් ලෙස,

  1. සුළඟ
  2. සතුන් (කෘමීන් , වවුලන් ආදිය)
  3. ජලය ගත හැකිය

බොහෝමයක් බෝග වර්ග වලට සාර්ථක අස්වැන්නක් ලබාදීමට පරාගනය අත්‍යවශ්‍ය වේ.මේ නිසා ඒවා විවිධ වූ උපක්‍රම යොදාගනී.

 

සුළඟ මගින් පරාගිත බෝග

වී, බඩ ඉරිඟු, පොල් , තෘණ විශේෂ
වී ශාකයේ කිරිවදින සමයේ මඳ සුළඟ පරාගනයට උපකාරී වේ. එසේම අධික වර්ෂාව නිසා පරාග සේදීමෙන් අස්වැන්න දුර්වල වේ.

ප්‍රශ්නය :

සුළඟ මගින් පරාගනය වන බෝග වල පුෂ්ප ලක්ෂණයන් දර්ශීය පුෂ්ප ලක්ෂණ සමග සසඳන්න.

සතුන් මගින් පරාගිත බෝග

විවිධ සත්ත්ව කොටස් බෝග පරාගනයට උපකාරී වේ. ඒ අතර

  • පක්ෂීන් - උදා : පැණි කුරුල්ලා
  • හයිමනොප්ටෙරාවන් - උදා : මීමැස්සන්, බඹරුන්
  • ලෙපිඩොප්ටෙරාවන් - උදා : සමනලයන්, සලබයන්

අප වගාකරන බොහොමයක් බෝග කෘමි පරාගිතය, විශේෂයෙන් මී මැස්සන් සහ බඹරුන්. උදෑසන මල් පිපුන ශාකයක් දෙස බලා සිටීමෙන් ඔබට එම ශාකය පරාගනය කරන සතුන් හඳුනාගත හැකිය.

ජලය මගින් පරාගිත බෝග

මෙහිදී පරාගනයට ජලය උපකාරී වේ. සමහරක් ජලජ ශාක ජලය මගින් පරාගනය වේ.

පරාගනය කුඩා සංසිද්ධියක් වුවද එය බෝග වගාවට අත්‍යවශ්‍යය ක්‍රියාවලියකි. එහි දුර්වල බව වෙනත් කිසිම ක්‍රමයක් මගින් සකසා ගත නොහැකිය. එම නිසා වගා කටයුතු වලදී පරාගකාරකයන් හට උපකාරී වන ක්‍රියා අත්‍යවශ්‍ය වේ. අධික පලිබෝධනාශක භාවිතය පරාගකාරකයන්ට හානි කරයි. කෘත්‍රිම පරාගනය සමහරක් බෝග වලට සිදු කළ හැකිය.

උදා : ඩ්‍රැගන් පෘට්, වැනිලා

ප්‍රශ්නය :

වැනිලා ශාකය කෘත්‍රිමව පරාගනය කළ යුත්තේ ඇයි?

එහෙත් බොහෝ බෝග වල කෘත්‍රිම පරාගනය ප්‍රායෝගික නැත. එම නිසා වගාවේදී මේ ගැන අවධියෙන් සිටීම වැදගත්ය. මී මැසි පෙට්ටි භාවිතය පරාගනයට උපකාරී වේ.


සමහරක් බෝග ස්වපරාගිතය. උදාහරණ ලෙස වී ශාකය ගත හැකිය. ස්වපරාගිත බීජ බොහෝ විට සමාන ලක්ෂණ දරන පරපුරක් සාදයි.
සමහරක් බෝග පරපරාගිතය. උදාහරණ ලෙස බඩ ඉරිඟු ශාකය ගත හැකිය. පරාගනය සඳහා ප්‍රවේනිකව වෙන් වූ ශාක අවශ්‍ය වේ. එහෙත් ස්වපරාගනයට එසේ අවශ්‍ය නැත. පර පරාගිත ශාක බොහෝ විට විචල්‍ය පරපුරක් සාදයි.

ප්‍රශ්න :

1. දූරියන් ශාකය පරාගනය වන්නේ කෙසේදැයි නිරීක්‍ෂණය කරන්න.
2. අඹ ශාකයේ පරාගන අනුවර්තන මොනවාද?

 

ප්‍රකාශන නිර්මාණය:- .....................