කෘෂිකර්මය සඳහා පසක ඇති විභවය

පසක ස්වභාවය තැනින් තැනට වෙනස්ය. ඒ අනුව යම් පසක ශාක වර්ධනයත්, කෘෂිකාර්මික බෝගයක අස්වැන්නත් වෙනස් වේ.

 


පසක් තැනින් තැනට වෙනස් වන්නේ කෙසේද?

මෙයට හේතු වන්නේ පසේ සංයුතියයි. පසක් නිර්මාණය වන්නේ පාෂාණ ජීර්ණයෙන් ලැබෙන ඛනිජ සහ ඒ මත වැඩෙන ඇල්ගී, ලයිකන, පාසි වැනි කුඩා ශාක වලින් ලැබෙන කාබනික ද්‍රව්‍ය අන්තර්ක්‍රියා කිරීම මගිනුයි. මෙම අන්තර්ක්‍රියාවන්ට උෂ්ණත්වය බලපාන අතර ජලයද අවශ්‍ය වේ. මෙලෙස සෑදෙන පසක උඩ කොටසේ ඇති ද්‍රව්‍ය වර්ෂාව මගින් පහලට ක්‍ෂරණය වීම සිදුවේ.

 

කාබනික ද්‍රව්‍ය වැඩිපුර එකතුවන මතුපිට ක්‍ෂුද්‍ර ජීවීන්ට සුදුසු වාසස්ථානයක් වන අතර ශාක වර්ධනයට හිතකර ක්‍රියා සඳහා ඔවුන් දායක වේ.

මෙසේ සෑදෙන පසක සංයුතිය රඳා පවතින්නේ පාෂාණවල ස්වභාවය මත මෙන්ම එකතුවන කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය මතයි. එහෙයින් පස මතුපිට ඇති ශාකවල ස්වභාවය පස වෙනස් කරයි. ඊට අමතරව, භූමියේ ස්වභාවය අනුව බෑවුමක ඉහල ඇති පස සෝදා යාමට ලක්වන අතර පහල එසේ සේදී යන ද්‍රව්‍ය එක්රැස් වේ.

මේ වෙනස්කම් අනුව පසක සංයුතිය වෙනස් වේ. එනම්, පසක ඇති වැලි, රොන්මඩ සහ මැටි ප්‍රමාණය, කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය, පාංශු කැටිතිවල ස්වභාවය, ජලය රඳා පැවතීම, ජලවහණය මෙන්ම ප්‍රමාණවත් වාත අවකාශ පැවතීම පසේ සංයුතිය විස්තර කරන කරුණුය.

මෙසේ සංයුතිය වෙනස් වීම නිසා පසක් කුමන බෝගයක් සඳහා සුදුසුද යන්න තීරණය කිරීමට පසේ ස්වභාවය ගැන ප්‍රමාණවත් අවබෝධයක් තිබිය යුතුය.

 

 

පසක් ශාක වර්ධනයට සුදුසු මාධ්‍යයක් බවට පත්ව ඇත්තේ ඇයි?

ඒ ශාක වර්ධනයට අවැසි මූලික කරුණු සපුරා දීම නිසාය.

  1. පස්වල සවිවරතාවය නිසා මුල් ගමන් කර ශාක රඳවා ගැනීමට හැකියාව ලැබේ.
  2. පසකට ජලය රඳවා ගැනීමටත් ඒවා ශාකවලට ලබා දීමටත් හැකියාවක් ඇත
  3. පසක් නිර්මාණය වන ක්‍රියාව දිගටම සිදුවේ. එවිට ඛනිජ ජීර්ණයත් කාබනික ද්‍රව්‍ය වියෝජනයත් සිදුවේ. මෙම කාර්යයන් දෙකම ශාක වර්ධනයට අවැසි පෝෂක මුදා හරී. පසකට විෂද්‍රව්‍ය එකතු වූ විට ඒවා විෂහරණය කිරීමේ හැකියාවක්ද පසට ඇත. එහෙයින් ශාක වර්ධනයට හිතකර ලෙස පසේ ස්වභාවය පවත්වාගත හැක.

 

පසකට ලබා දිය හැකි ශාකයට අවැසි පෝෂක මොනවාද?

පසට පෝෂක ලැබෙන්නේ කෙසේද?

  1. පසක් ඛනිජකරණය සිදු කිරීමේදී මූල ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මුදා හරී. ඒවායින් සමහරක් පෝෂක ලෙස ශාකයට ලබා ගත හැක
  2. කාබනික ද්‍රව්‍ය වියෝජනයේදී CO2 ලෙස කාබනික ද්‍රව්‍යවල ඇති කාබන් යම් ප්‍රමාණයක් මුදා හැරෙන අතර අනෙක් මූලද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් නයිට්‍රජන්, පොස්පරස්, සල්ෆර්, කැල්සියම්, මැග්නීසියම් හා අංශුමාත‍්‍ර අයන ලෙස මුදා හැරේ.
  3. මීට අමතරව වැසි ජලය යම් පෝෂක ප්‍රමාණයක් පසට ලබා දේ.
  4. පසේ ජීවත්වන සමහර බැක්ටීරියා විශේෂ වායුගෝලයේ නයිට්‍රජන් තිර කර පසට ලබා දෙයි.


මෙම පෝෂක ශාකයක් ලබා ගන්නේ කෙසේද?

  • පාංශු ජලයෙන් කෙලින්ම

  • ක්‍ෂුද්‍ර ජීවීන් සමග සහජීවී සම්බන්ධතා මගින්

 

පසක් විෂ ද්‍රව්‍ය ඉවත් කරන්නේ කෙසේද?

පසකට ලැබෙන සමහර ද්‍රව්‍ය කාබනික වන අතර සමහරක් අකාබනික වේ. අකාබනික විෂ ද්‍රව්‍ය අයන ලෙස පවතින අතර පාංශු කලිල මගින් රඳවා ගත හැක. එලෙසම කාබනික ද්‍රව්‍ය සමග සංයෝජනය විය හැක. එවැනි අයන ශාකයකට හානිකර නැත.


විෂ කාබනික ද්‍රව්‍ය උදා: පලිබෝධ නාශක, ඉහත ලෙසම පාංශු කලිල සහ කාබනික ද්‍රව්‍ය සමග රඳවා ගන්නවා සේම ඒවා වියෝජනයට ලක්විය හැක. වියෝජනය කිරීමට පසේ ක්‍ෂුද්‍ර ජීවීන් දායක වේ.

 

ප්‍රකාශන නිර්මාණය:- ආචාර්ය ඩි.කේ.එන්.ජී. පුෂ්පකුමාර